ඒ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙනි.
උතුරේ දමිළ ජනතාව මුහුණ දී තිබෙන ඉඩම් හිඟයට එකම පිළියම එම ප්‍රදේශයේ පවතින හමුදා කඳවුරු ඉවත් කිරීම බවට පෙන්වා දෙමින් ජාතිවාදී දේශපාලනඥයන් ගොඩනඟා ඇති ප්‍රබන්ධයට පිළිතුරු දෙමින් තල් සංවර්ධන මණ්ඩලය, කජු සංස්ථාවට අයත් මන්නාරම ප්‍රදේශයේ ඉඩම් අක්කර 200ක් ගිවිසුම් මගින් උතුරේ තල් ගොවීන්ගේ සමිතිවලට ලබා දීම ඉහත
ප්‍රබන්ධයට ඉතා හොඳ ප්‍රායෝගික පිළිතුරක් බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.
අක්කර 200කින් මෙම කටයුත්ත ඇරඹුවත් ඉදිරියේ දී කජු සංස්ථාව සතුව තිබෙන උතුරේ අක්කර 6000ක කජු වගා බිම්වල උතුරේ ගොවීන් තල, මුං, කවුපි, ලුණු වගා කරනු දැකීම තම අපේක්ෂාව බව පැවසූ ඇමතිවරයා, ආරක්ෂාව හා බැඳුණු ඉඩම් වෙනුවට වෙනත් රාජ්‍ය ආයතන සතුව ඇති ඉඩම් මෙසේ උතුරේ ගොවි ජනතාවට ලබා දීම සැබෑ සංහිඳියාවට ඉමහත් රුකුලක් බව ද සඳහන් කළේය.
එසේම ආනයනය සීමා කිරීම නිසා හිඟයක් පවතින උඳු හා කහ වගාවන් කෙරෙහි උතුරේ ගොවි ජනතාව අවධානය යොමු කළහොත් ඔවුන්ගේ එකී වගාවන්ට ඉතා හොඳ ඉල්ලුමක් ලැබෙනු ඇති බව ද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ඉහත අක්කර 200ක මන්නාරම, කොන්ඩච්චි ඉඩම තල් සංවර්ධන මණ්ඩලයේ ගොවි සමිති හා යාපනයේ ‘වරුණි’ ගොවි සමිතිය මගින් ජනතාවට බෙදාදීමට නියමිතය. මෙහි දී තල් සංවර්ධන මණ්ඩලයට අයත් කයිතඩි තල් පර්යේෂණාගාරය විසින් නිපදවා ඇති ‘තල් සීනි’ ඇතුළු තල් නිෂ්පාදන කිහිපයක් ජනගත කිරීම ද සිදුවිය.
ඉහත අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ක්‍රිෂාන්ත පතිරාජ මහතා සහ කජු සංස්ථාවේ සභාපතිනී සාරංගා රත්නායක මහත්මිය විසින් සිදු කරන ලදී.
උපුටා ගැනීම - News.lk