මහා භාණ්ඩාගාරය ‘හිඟ බිල්පත් නිරවුල් කිරීම තහවුරු කිරීමේ ලිපි’ නිකුත් කරයි

    July, 14, 2020

    රජයේ කොන්ත්‍රාත් සහ සැපයුම්කරුවන්ට බැංකුවලින් ණය පහසුකම් ලබා ගැනීම සඳහා ගත් ක්‍රියාමාර්ගයක්

    රජයේ විවිධ සංවර්ධන කටයුතුවලට සම්බන්ධ වී මෙතෙක් බිල්පත් ගෙවා අවසන් කර නොමැති ඉදිකිරීම් ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රවල රජයේ කොන්ත්‍රාත්කරුවන් සහ සැපයුම්කරුවන් වෙත බැංකු මගින් ණය පහසුකම් ලබා ගැනීම සඳහා, අදාළ බැංකු වෙත භාණ්ඩාගාරය මගින් ‘හිඟ බිල්පත් නිරවුල් කිරීම තහවුරු කිරීමේ ලිපි’ නිකුත් කිරීම ආරම්භ කර ඇත.

    මෙම වැඩපිළිවෙළ යටතේ 2020 මැයි මස 31 වැනි දිනයට වාර්තාවී ඇති 2019 සහ 2020 වසරවලට අදාළ හිඟ මුදල්වලට අදාළව මෙම ලිපි නිකුත් කිරීමට සිදු කෙරේ.

    ඒ අනුව අදාළ කොන්ත්‍රාත්කරුවන් විසින් නම් කරනු ලබන බලපත්‍රලාභී වාණිජ බැංකුවක් සඳහා පමණක් මෙම ලිපි නිකුත් කෙරෙන අතර අදාළ හිඟ මුදල් ගෙවීම සඳහා එසේ නම් කරනු ලැබු වාණිජ බැංකුවේ කොන්ත්‍රාත්කරු නමින් විශේෂ ගිණුමක්  ආරම්භ කළ යුතුය.

    හිඟ මුදල් ගෙවීමට අවශ්‍ය මුදල් වරින් වර භාණ්ඩාගාරය මගින් අදාල සේවාලාභී අමාත්‍යාංශය/ දෙපාර්තමේන්තුව වෙත නිදහස් කිරීමට කටයුතු කරනු ලබන අතර එම අරමුදල් භාවිත කරමින් අදාල අමාත්‍යාංශය/ දෙපාර්තමේන්තුව විසින් කොන්ත්‍රාත්කරුවන්ගේ නමින්වු විශේෂ බැංකු ගිණුම හරහා පමණක් අදාල බිල්පත් නිරවුල් කිරීම සිදු කරනු ලැබේ. ‘ආර්ථික පුනර්ජීවනය සඳහා පහසුකම් සැලසීම’ මැයෙන් 2020 ජූනි මස 06 වැනි දින අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයට අනුව මෙම පහසුකම් සැලසීම ක්‍රියාත්මක ය.