මහ බැංකුව රු. බිලියන 178 ක ණය අනුමත කළේ මෙහෙමයි

    October, 17, 2020

    ශ්‍රී ලංකා මහ බැංකුව සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකම යටතේ ණය 61,907ක් සඳහා රුපියල් බිලියන 178ක් අනුමත කරයි

    2020 ඔක්තෝබර් මස 15 වන විට, කොවිඩ්-19 වසංගතයෙන් පීඩාවට පත්වූ ව්‍යාපාර විසින් එවන ලද ණය අයදුම්පත් 61,907ක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අනුමැතිය ලබා දී ඇත. සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකමෙහි අදියර තුනම යටතේ ලියාපදිංචි කළ මෙම අයදුම්පත්වල වටිනාකම රුපියල් මිලියන 177,954 ක් විය. බලපත්‍රලාභී බැංකු විසින් දිවයින පුරා විසිරී සිටින පීඩාවට පත්වූ ප්‍රතිලාභීන් 45,582ක් වෙත රුපියල් මිලියන 133,192ක මුදල් ප්‍රමාණයක් මේ වන විට මුදා හැර ඇත (වැඩි විස්තර සඳහා වගු අංක 1 බලන්න).

    ණය යෝජනා ක්‍රමයේ පළමු අදියර 2020 අප්‍රේල් මස 01 වන දින සිට ක්‍රියාත්මක විය. දෙවන හා තුන්වන යන අදියර දෙකම 2020 ජුලි මස 01 වන දින සිට බලාත්මක වන පරිදි හඳුන්වා දෙන ලදී.  මෙම යෝජනා ක්‍රමවල අභිප්‍රාය වූයේ වාර්ෂිකව සියයට 4ක පොලී අනුපාතිකයක් යටතේ කාරක ප්‍රාග්ධන ණය ලෙස රුපියල් බිලියන 150ක් සැපයීමයි. ණය සඳහා මාස හයක සහන කාලයක් ද ඇතුළත්ව මාස 24ක ණය ආපසු ගෙවීමේ කාල සීමාවක් හිමි විය. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ස්වයං රැකියා හා තනි පුද්ගල ව්‍යාපාර ද ඇතුළු සියලු ව්‍යාපාර මෙම යෝජනා ක්‍රමවල ප්‍රතිලාභීන්  විය.

    පීඩාවට පත් ව්‍යාපාර විසින් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන මුලින් අපේක්ෂිත රුපියල් බිලියන 150ක සීමාව පිළිබඳ නොසලකා අයදුම්පත් භාරගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තීරණය කරන ලදී.  ඒ අනුව, නිවේදනය කරන ලද නියමිත කාලය තුළදී  පීඩාවට පත්වූ ව්‍යාපාර විසින් ඉදිරිපත් කරනු ලැබූ සියලුම අයදුම්පත් සඳහා මෙම ණය යෝජනා ක්‍රමය යටතේ සහන ලබා දෙන ලදී.