මහ බැංකු සංචිතය මාර්තු මාසයේ දී 3.5%කින් පහළට

    April, 8, 2026

    ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම 2026 මාර්තු මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 7,019ක් ලෙසින් වාර්තා වී තිබේ. මෙය 2026 පෙබරවාරි මාසයේ දී වාර්තා වී තිබුණු ඩොලර් මිලියන 7,270ක සංචිත වත්කම් හා සැසඳීමේ දී 3.5%ක පහළ යාමකි.

    2026 පෙබරවාරි මාසයේ දී මහ බැංකු සංචිතය ඩොලර් බිලියන 7 සීමාව ඉක්වා ගොස් තිබුණේ වසර 5 1/2කට පසුවය.

    සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය 2026 පෙබරවාරි මාසය තුළ වාර්තා වී තිබුණු ඩොලර් මිලියන 7,057 සිට 2026 මාර්තු මාසයේ දී ඩොලර් මිලියන 6,793ක් දක්වා 3.8%ක පහළ යාමක් වාර්තා කර ඇත.

    මේ අතර මහ බැංකුව සතු රන් සංචිතය 2026 පෙබරවාරි මාසය අවසානයේ දී දැක්වුණු ඩොලර් මිලියන 200 සිට 2026 මාර්තු මාසයේ දී ඩොලර් මිලියන 222 ක් දක්වා 10.8%කින් වර්ධනය වී තිබේ.

    මෙම නිල සංචිත වත්කම් තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට පමණ සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වන අතර, එය භාවිතා කිරීමේ දී කොන්දේසිවලට යටත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.