මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ශ්‍රී ලංකාවේ ගමන් මග

November, 5, 2021

  • දත්ත පෙන්වා දෙන පරිදි සෑම වසරකම පිළිබඳ ශ්‍රී ලංකාවේ සිදුවන මාර්ග අනතුරු 38,000 ක් නිසා මරණ 3,000ක් සහ බරපතල තුවාල වීම් 8,000 ක් වාර්තා වේ.
  • මාර්ග අනතුරු වලින් සිදුවන මරණ සහ තුවාල වීම් නිසා ශ්‍රී ලංකාව වැනි රටවල් වාර්ෂික දළ දේශීය නිෂ්පාදනයෙන් 3% - 5% අතර ප්‍රමාණයක් අහිමි වේ.
  • මාර්ග ආරක්‍ෂාව පිළිබඳ අර්බුදයට එරෙහිව කටයුතු කිරීම සඳහා ඩොලර් බිලියන 2ක අමතර ආයෝජනයක් අවශ්‍ය වේ.

ප්‍රියන්ත ප්‍රනාන්දු *(34) සිය දෛනික වැඩ කටයුතු නිමාකර සුපුරුදු පරිදි නිවස බලා යමින් සිටියදී ඔහුගේ යතුරුපැදිය ලොරියක ගැටී ඇත. සිය පවුලේ එකම ආදායම් උපදවන්නා අහිමි වූ විට තම ජීවිත ක්‍ෂණිකව වෙනස් වන ආකාරය ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා හොඳින්ම අත්විඳින ලදී. අවාසනාවකට මෙන් මෙවන් ඛේදජනක සහ අනවශ්‍ය ජීවිත විනාශයන් ශ්‍රී ලංකාවේ බහුලව දක්නට ලැබේ.

පවතින දත්ත වලට අනුව ශ්‍රී ලංකාවේ වාර්ෂික මාර්ග අනතුරු වල සාමාන්‍යය 38,000 ක් වන අතර ඒවායේ ප‍්‍රතිඵලයක් ලෙස මරණ 3,000 ක් පමණ සහ බරපතල තුවාල සිදුවීම් 8,000ක් පමණ වාර්තා වේ. මාර්ග අනතුරු නිසා සිදුවන ඇස්තමේන්තුගත ඒක පුද්ගල මරණ සංඛ්‍යාව අසල්වැසි දකුණු ආසියාවේ රටවල් අතර ඉහළම අගය ශ්‍රී ලංකාවට හිමිවන අතර, එම සංඛ්‍යාව මාර්ග අනතුරු පාලනය කරන ලද ලෝකයේ හොඳම ක්‍රියාකාරී රටවල ඒක පුද්ගල මරණ සංඛ්‍යාව මෙන් පස් ගුණයක් වන්නේය.

ශ්‍රී ලංකාවේ මාර්ගවල සිදුවන අධික මාර්ග අනතුරු සංඛ්‍යාව සහ තුවාල අනුපාත හේතුවෙන් පසුගිය දශකය තුල ආර්ථික වර්ධනය සහ දරිද්‍රතාවය අඩු කිරීම සහ සෞභාග්‍යය ඉහළ නැංවීම සම්බන්ධයෙන් ලබා ඇති ප‍්‍රගතිය අඩපණ කර ඇත. මාර්ග අනතුරු වලට ගොදුරු වූවන් ගෙන් තුනෙන් දෙකකට වැඩි සංඛ්‍යාවක් වයස අවුරුදු 15-64 අතර වූ ඵලදායී සහ ක්‍රියාශීලී වැඩිහිටියන් වූහ.

ශ්‍රී ලංකාවේ , 2011 සහ 2018 අතර සිදුවූ වාහන හිමිකාරිත්වයේ 67%ක ශීඝ‍්‍ර වර්ධනයත් විශාලත්වය සහ වේගය අනුව විවිධවන රථ වාහන සහ රථ වාහන නොවන ගමනාගමනයේ ඇති විවිධත්වය නිසාත් මෙම තත්වය තවදුරටත් තීව‍්‍ර වන්නේය. මෙම තත්වය අවදානම් සහිත මාර්ග භාවිතා කරන්නන්ට ප‍්‍රමාණවත් ආරක්‍ෂාවක් නොලැබීයාමට හේතුවේ. අනතුරුවලට ගොදුරු වූවන්ගෙන් 90% වඩා වැඩි සංඛ්‍යාවක් පදිකයින්, පාපැදි කරුවන් සහ යතුරුපැදි කරුවන් වේ.

මෙම ප‍්‍රවනතාවය දිගටම පැවතුනහොත් සහ අවශ්‍ය හදිසි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක නොකළහොත්, අපේක්‍ෂා කළ පරිදි හදිසි මාර්ග අනතුරු මරණ සහ තුවාල සිදුවීම් ක‍්‍රමයෙන් ඉහළ යනු ඇත.

මෙම ගැටළුව රටේ සෞඛ්‍යයට, යහපැවැත්මට, මානව ප‍්‍රාග්ධනයට සහ ආර්ථික වර්ධනයට තදින්ම බලපාන්නකි. ලෝක බැංකුව ඇස්තමේන්තු කර ඇති පරිදි මාර්ග අනතුරු නිසා සිදුවන මරණ සහ තුවාල වීම් නිසා ශ්‍රී ලංකා වැනි රටවල දළ දේශීය නිෂ්පාදිතයෙන් 3%-5% ත් අතර ප්‍රමාණයක් අහිමිවිය හැක.

"තිරසර සංවර්ධන අරමුණු වල අංක 3.6 ඉලක්කය වන ජාතික මාර්ග අනතුරු සංඛ්‍යාව 50%කින් අඩුකිරීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා ඉදිරි දශකය තුල ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2ක පමණ අමතර ආයෝජනයක් අවශ්‍ය වනු ඇතැයි ගණන් බලා ඇත."

ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්‍ෂණයේ දුර්වල කාර්ය සාධනයට හේතු වී ඇත්තේ ඉලක්කගත කාර්යයන් සඳහා සිදු කෙරෙන අඩු ආයෝජනයන්ය. තිරසර සංවර්ධන අරමුණු වල අංක 3.6 ඉලක්කය වන ජාතික මාර්ග අනතුරු සංඛ්‍යාව 50%කින් අඩුකිරීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා ඉදිරි දශකය තුල ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2ක පමණ අමතර ආයෝජනයක් අවශ්‍ය වනු ඇතැයි ගණන් බලා ඇත.

මෙම ආයෝජනයන් ඵලදායක වීමට සහ තිරසර පදනමක් මත මාර්ග ආරක්‍ෂණ කාර්ය සාධනය වැඩිදියුණු කිරීමට නම් ශ්‍රී ලංකා රජය තුල දිගුකාලීන කැපවීමක් සහ තිරසර දැක්මක් තිබීම අවශ්‍ය වන්නේය.

පහත සඳහන් කරුණු සාක්‍ෂාත් කර ගැනීම සඳහා සවිමත් කරන ලද ආයතනික ධාරිතාවක් සහ ක‍්‍රමානුකූල සහ පරිමාණයකට අනුව සිදු කෙරෙන මුලපිරීම් අවශ්‍ය වන්නේය:

  • මාර්ග දෙපස ජීවත්වන ප‍්‍රජාවන්ද ඇතුළත්ව සියලූම මාර්ග භාවිතා කරන්නන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා ආරක්‍ෂිත යටිතල පහසුකම් සැලසුම් ශක්තිමත් කිරීම.
  • ආරක්‍ෂිත අනුකූලතා පාලනයන් පූර්ණ බලැතිව ක්‍රියාත්මක කිරිමට පෙර, නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ නියාමන බලධාරින්ට ප‍්‍රවේශ විය හැකි ආකාරයේ ශක්තිමත් වාහන සහ රියදුරු බලපත‍්‍ර පද්ධතීන් ස්ථාපිත කිරීම.
  • මාර්ග භාවිතා කරන සියල්ලන්ටම නාගරික සහ ග‍්‍රාමීය මාර්ග ආරක්‍ෂිතව භාවිතා කළ හැකිවීම තහවුරු කිරීම සඳහා, මාර්ග භාවිතා කිරීමේ සංගෘහිත ප‍්‍රතිපත්ති සහ ඒකාබද්ධ ඉඩම් පරිහරණ/ ප‍්‍රවාහන සැලසුම් සකස් කිරීම සඳහා පහසුකම් සැලසීම.
  • යටිතල පහසුකම්, වාහන සහ මාර්ග භාවිතා කරන්නන්ගේ ආරක්‍ෂාව පිළිබඳ ගැටළු සඳහා විසඳුම් ඉදිරිපත් කෙරෙන සියලූම සැලසුම් සහ ප‍්‍රතිපත්ති සලකා බැලීම් වලදී වේග කළමනාකරණයට ප‍්‍රමුඛත්වය ලබා දීම.

මාර්ග ආරක්‍ෂාව සඳහා වගකිවයුතු ආයතන, මහා මාර්ග වල වැඩිවන මාර්ග අනතුරුවලට මුහුණ දීමට හැකිවන පරිදි බලගැන්වීම සහ එම ආයතන වලට අවශ්‍ය සම්පත් ලබාදීම සිදුකළ යුතුය. මෙයට පාලන අභියෝගයන්ට විසඳුම් ලබාදීම සහ මාර්ග අනතුරු පිළිබඳ දත්තවල පවතින හිඩැස් පිරවීම ඇතුළත් වේ.

ප‍්‍රතිඵල කේන්ද්‍ර කරගත් උපාය මාර්ගයක් සකස් කිරීම සහ එය ප‍්‍රමාණවත් පරිදි සම්බන්ධීකරණය කිරීම සහ ක්‍රියාත්මක කිරීම තහවුරු කිරීමට ඇති හැකියාව මෙවැනි ගැටළු නොවිසඳී දිගින් දිගට පැවැතීම නිසා අඩාල විය හැක. යහපත් මාර්ග ආරක්‍ෂණ පුරුදු ඇති කිරීමට කිරීමට සහ නිසි පියවර ගැනීම සඳහා සුදුසු සැලැස්මක් සැපයීම සඳහා වඩාත් ඵලදායක, කාර්යක්‍ෂම සහ පරිමාණාත්මක මුලපිරීම් අවශ්‍ය වන්නේය.

ඉලක්කගත මාර්ග ආරක්‍ෂණයන් සඳහා සිදුකරන ආයෝජනයන්, ශ්‍රී ලංකාවේ මානව ප‍්‍රාග්ධනය එක්රැස් කිරීමට මෙන්ම තිරසර සහ සංගෘහිත ආර්ථික වර්ධනයකට සහ රටේ සමස්ත වත්කම් වර්ධනයට දායක වේ. වැඩිදියුණු කළ ප‍්‍රවාහන ඵලදායීතාවය, විශ්වීය ප‍්‍රවේශ්‍යතාවය, දේශගුණික විපර්යාස අවම කිරීම සහ ඒවාට අනුවර්තනය වීම සහ දේශීයව වායු සහ ශබ්ද දූෂණය අඩු කිරීම ඇතුළු අනෙකුත් තිරසර සංචලතා ඉලක්කයන් සපුරා ගැනීමට ද මෙය දායක වනු ඇත.

මාර්ග ආරක්‍ෂාව පිළිබඳ ජාතික කොමිෂන් සභාව පිහිටුවීමට යෝජනා වීමත් සමගම මේ සඳහා රජය ගන්නා ක්‍රියාමාර්ගවල සාධනීය ලකුණු පහළවෙමින් තිබේ. මාර්ග අනතුරු පිළිබඳ ජාතික දත්ත ගබඩාවක් පිහිටුවීමට ද කටයුතු කෙරෙමින් පවතී. මෙකී යෝජිත ක්‍රියාවන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ තිරසර මාර්ග ආරක්‍ෂාව සහ ජනතා කේන්ද්‍රීය සංවර්ධනය සඳහා ද මග පෑදෙනු ඇත.

*පුද්ගලිකත්වය රැකගැනීම සඳහා නම් වෙනස්කරන ලදී

- ලෝක බැංකුව