මාස හතක ඉන්ධන ආනයන වියදම 19.9% කින් පහළට

    October, 19, 2016

    2016 වසරේ මුල් මාස 7 තුළ දී ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයන වියදම ඩොලර් මිලියන 1,648.2 සිට ඩොලර් මිලියන 1,320.2 දක්වා 19.9% කින් පහළ ගොස් තිබේ. මේ අතර ජූලි මාසය තුළ දී ඉන්ධන වෙනුවෙන් දරන ලද වියදම ඇමරිකානු ඩොලර් මිලියන 142.3 ක් ලෙසින් වාර්තා වන අතර 2015 ජූලි මාසයේ දී එම වටිනාකම ඩොලර් මිලියන 174.8 ක් ලෙසින් වාර්තා වේ. මෙය 18.6% ක පහළ යාමකි.

    මේ සඳහා ප්‍රධාන වශයෙන් බොරතෙල් සහ අඟුරුවල සාමාන්‍ය ආනයන මිල අඩු වීමත් සමඟ, පිරිපහදු කළ ඛනිජතෙල් ආනයන පරිමාව ද සැලකිය යුතු ලෙස අඩු වීම හේතු වී තිබේ.

    ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි තෙල් මිල අඩු වීමත් සමඟ 2016 ජූලි මාසයේ දී බොරතෙල් බැරලයක සාමාන්‍ය ආනයන මිල ඩොලර් 46.10 ක් දක්වා අඩු වූ අතර, එය පසුගිය මාසයේ දී බැරලයක් සඳහා ඩොලර් 50.95 ක් සහ 2015 ජූලි මාසයේ දී බැරලයක් සඳහා ඩොලර් 60.49 ක් ලෙසින් වාර්තා වී ඇත.