මැජෙස්ටික් සිටි සංකීර්ණයට ෆයිබර් තාක්ෂණ සේවා සැපයීමට SLT-MOBITEL සූදානම්

    March, 30, 2021

    ජාතික තොරතුරු සහ සන්නිවේදන සැපයුම්කරු වන SLT-MOBITEL ආයතනය, කොළඹ මැජෙස්ටික් සිටි සුපිරි වෙළෙඳ සංකීර්ණයේ හිමිකාරීත්වය දරන CT Land Development සමාගම සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹුණි. එම ගිවිසුම යටතේ මැජෙස්ටික් සිටි සංකීර්ණයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ පහසුකම් නැංවීම සඳහා SLT-MOBITEL දායකත්වය පිරිනැමීමට නියමිත ය.

    ‘MC’ යන කෙටි නාමයෙන් බොහෝ දෙනා හඳුන්වන මෙම මැජෙස්ටික් සිටි සංකීර්ණය කොළඹ බම්බලපිටිය ප්‍රදේශයේ ඇති සුවිශේෂී ගොඩනැගිල්ලකි.

    කොළඹ කොටුව, ශ්‍රී ලංකා ටෙලිකොම් මූලස්ථානයේදී මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුණේ ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා මහතාගේ සහ CT Land Development සමාගමේ අධ්‍යක්ෂිකා මියෝනි පෙරේරා මෙනවියගේ සහභාගීත්වයෙනි. ආයතන දෙක නියෝජනය කරන වෙනත් නිලධාරීහු රැසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

    ලෝකය ඩිජිටල්කරණය සමඟ වේගයෙන් වෙනස් වන මොහොතක, මැජෙස්ටික් සිටි වැනි සුපිරි සාප්පු සංකීර්ණයක් ද එම වෙනසට අනුගත වෙමින් නවීන තොරතුරු සන්නිවේදන තාක්ෂණ පහසුකම් වැළඳගැනීම කාලීන අවශ්‍යතාවක් බවට පත්ව තිබේ. එහිදී ශ්‍රී ලංකාවේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ සේවා සම්පාදනයේ ප්‍රමුඛයා වන SLT-MOBITEL වෙතින් දුරකථන සන්නිවේදන සේවා, ෆයිබර් තාක්ෂණයෙන් බලගැන්වුණු අධිවේගී බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සබඳතා මෙන්ම නවීන ටෙලිවිෂන් අත්දැකීමක් සමීප කරන  PEO TV වැනි සේවාවන් රැසක් මැජෙස්ටික් සිටි සාප්පු සංකීර්ණයට හිමි වනු ඇත.

    මෙම ව්‍යාපෘතිය මගින් කොළඹ නගර මධ්‍යයේ  පිහිටි නවීන සුහුරු ගොඩනැගිල්ලක් බවට මැජෙස්ටික් සිටි සංකීර්ණය පත්වනු ඇති අතරම, ඒ වෙත ගමන් කරන පාරිභෝගිකයින්ට ද ඩිජිටප්කරණය වූ ජීවන රටාවක අත්දැකීම් විඳගැනීමේ සුවිශේෂී අවස්ථාවක් උදාවනු නිසැක ය.

    “අපගේ ඩිජිටල්කරණ ඉලක්කය සපුරා ගනිමින්, නවීන ඩිජිටල් යුගයට හැඩගැසීමේ අරමුණ සාක්ෂාත් කරගැනීමේදී ඒ සඳහා හොඳම සහකරු වශයෙන් අපි හඳුනාගනු ලැබුවේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය යි. මෙම සහයෝගීතාව තුළින් මැජෙස්ටික් සිටි සංකීර්ණය සැබෑම වෙනසක් අත්කරගනු ඇති බව අපේ විශ්වාසයයි“, යනුවෙන් මෙහිදී අදහස් දැක්වූ CT Land Development අධ්‍යක්ෂිකා මියෝනි පෙරේරා මෙනෙවිය පැවසුවාය.

    “තාක්ෂණය සහ ඩිජිටල්කරණය තුළින් දේශය සවිබලගැන්වීමේ අපේ මෙහෙයුම යටතේ, දේශීය ව්‍යාපාර හා සමාගම් සඳහා උසස්ම තොරතුරු සන්නිවේදන තාක්ෂණ සහ දුරකථන සන්නිවේදන පහසුකම් සැපයීමට අපි විශාල අවධානයක් යොමුකර තිබෙනවා. මැජෙස්ටික් සිටි සාප්පු සංකීර්ණය සුහුරු ගොඩනැගිල්ලක් බවට පත්කිරීමට අපට ලැබුණු අවස්ථාව පිළිබඳව සතුටට පත්වන අතරේදීම, ඒ වෙත ගමන් කරන සියලු දෙනාට සතුටු විය හැකි හා අගය කළ හැකි නවතම අත්දැකීම් පිරිනැමීමටත් අපි බලාපොරොත්තු වෙනවා“, යනුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

    මහල් පහකින් සමන්විත මැජෙස්ටික් සිටි සුපිරි සාප්පු සංකීර්ණය යනු සෑම වයස් කාණ්ඩයකටම අයත් බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත් වාණිජ අවකාශයකි. එය සාප්පු සවාරි කටයුතු සහ වාණිජ ක්‍රියාකාරකම් මෙන්ම නිදහස් විවේක සුවය ලැබිය හැකි ස්ථානයක් ලෙස ද ප්‍රකට ය. එමෙන්ම සාප්පු සවාරි හා විනෝදාස්වාද අත්දැකීම්වලට අමතරව, විවිධ ආහාර වර්ග රැසක් පිරිනමන දැවැන්ත අවන්හල් පරිශ්‍රය ද මැජෙස්ටික් සිටි පරිශ්‍රයේ ඇති කැපීපෙනෙන විශේෂාංගයකි.

    මැජෙස්ටික් සිටි පරිශ්‍රය තුළ 200කට අධික වෙළඳසැල්, කාර්යාල, බැංකු 3ක්, සුපිරි වෙළඳසැලක්, KFC ක්ෂණික ආහාර අවන්හලක්, ක්‍රීඩා කලාපයක්, අවන්හල් භූමියක්, සිලෝන් තියටර්ස් සමාගමට අයත් සිනමා ශාලාවක් (මැජෙස්ටික් සිනෙප්ලෙක්ස්), මහල් තුනක් පුරා පැතිරුණු රථ ගාලක් ආදී පහසුකම් රැසක් පවතී.

    සේයා රූ සටහන : වමේ සිට දකුණට - CT Land Development හි සමාගම් ලේකම් චාරුනී ගුණවර්ධන මෙනවිය, CT Land Development අධ්‍යක්ෂිකා මියෝනි පෙරේරා මෙනෙවිය, ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා මහතා, ශ්‍රී ලංකා ටෙලිකොම් සාමාන්‍යාධිකාරී (බස්නාහිර පළාත්-මධ්‍යම) චේතන අත්තනායක මහතා, ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විකුණුම් සහ කලාප භාර නිලධාරී ඉමන්ත විජේකෝන් මහතා.