මැයි මාසයේ දී මිලියන 200කට වඩා ඩොලර් ගත්තත් මහ බැංකුවේ සංචිතය වැඩිවෙලා නැහැ

    June, 11, 2024

    ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය 2024 මැයි මාසය තුළ දී මිලියන 224.5 ක වටිනාකමකින් යුතු ඩොලර් ප්‍රමාණයක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගෙන ඇති බව වාර්තා වේ.

    ඒ අනුව 2024 වසරේ මුල් මාස 05 තුළ දී මිලියන 1,902.9 ක වටිනාකමකින් යුතු ඩොලර් ප්‍රමාණයක් මිල දී ගැනීමට මහ බැංකුව පියවර ගෙන තිබේ.  ඒ ජනවාරි - මිලියන 245.3 ක්, පෙබරවාරි - මිලියන 248.5 ක්, මාර්තු - මිලියන 715.1 ක්, අප්‍රේල් -  මිලියන 469.5 ක් සහ මැයි - මිලියන 224.5 ක් වශයෙනි.

    මේ අතර පෙබරවාරි (මිලියන 9.0), අප්‍රේල් (මිලියන 50.0) සහ මැයි (මිලියන 32.0) මාසවල දී ඩොලර් විකිණීමක් ද මහ බැංකුව විසින් සිදුකර තිබේ.

    ඒ අනුව ශුද්ධ වශයෙන් පසුගිය මාස 05 තුළ දී මහ බැංකුව, දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගෙන ඇති ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 1,811.9 කි.

    2024 මැයි මාසය තුළ දී මිලියන 224.5 ක ඩොලර් ප්‍රමාණයක් මිල දී ගැනීමට මහ බැංකුව කටයුතු කර තිබුණ ද එම මාසය තුළ දී විදෙස් සංචිතය 2024 අප්‍රේල් මාසයට වඩා පහළ ගොස් තිබිම විශේෂත්වයකි.

    2024 අප්‍රේල් මාසය අවසානයේ දී මහ බැංකුවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 5,471 ක් ලෙසින් වාර්තා වූ අතර එය 2024 මැයි මාසය වන විට ඩොලර් මිලියන 5,421 ක් දක්වා සුළු වශයෙන් පහළ ගොස් තිබුණි.

    මහ බැංකුව වෙළෙඳපොළෙන් ඩොලර් මිල දී ගන්නා වාතාවරණයක් තුළ ඊට සමගාමීව මහ බැංකුවේ සංචිත වත්කම් වැඩි නොවන්නේ ඇයි? මීට කලකට පෙර මහ බැංකු අධිපතිවරයා මෙම ප්‍රශ්නයට පිළිතුරු ලබාදුන්නේ මෙලෙසිනි.

    “ඇතැම් ණය සේවාකරණ ගෙවීම් මීට හේතු වී තිබෙනවා. රජය අඛණ්ඩව ADB, ලෝක බැංකු ණය ගෙවීම් සිදුකරනවා. ඒ වගේම රාජ්‍ය ව්‍යවසායයන්ගේ ඇතැම් ණය ගෙවීම් මහ බැංකුව සිදුකරනවා. මේ ගෙවීම් සිදුවන්නේ මහ බැංකුවේ සංචිතය මගින්. ඒ නිසා තමයි විදෙස් වත්කම් සුළුවශයෙන් ඉහළ ගොස් තිබෙන්නේ“. (2024 අංක 02 මුදල් ප්‍රතිපත්ති විවරණ මාධ්‍ය හමුව)