මිලේනියම් හවුසින් ඩිවලොපර්ස් සමාගමේ ශුද්ධ ලාභය 70%කින් ඉහළට

    June, 6, 2017

    මිලේනියම් හවුසින් ඩිවලොපර්ස් සමාගම කොළඹ කොටස් වෙළඳපලට සිය කාර්යසාධන වාර්තාව පසුගියදා ඉදිරිපත් කළේය. ඒ අනුව එම සමාගම 2016/17 වර්ෂය සඳහා හිමිකරගෙන ඇති ලාභය රු. මිලියන 146ක් වන අතර කොටසක ඉපැයුම රු. 1.09ක් වේ.

    "අභියෝගාත්මක වෙළඳපල තත්ත්වයන් තුළ පවා මෙවැනි ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කිරීමට හැකි වීම පිළිබඳ අප ඉතාමත් සතුටු වනවා. මෙම ක්ෂේත්‍රය තුළ අපට තවදුරටත් ඉදිරියට යා හැකි අවස්ථා බොහොමයක් පවතින අතර ගොඩනැගිලි ඉදිකිරීමෙන් ඔබ්බට යමින් අපගේ ආදායම් තවත් වර්ධනය කර ගැනීම අපගේ අරමුණයි" යනුවෙන් මිලේනියම් හවුසින් ඩිවලොපර්ස් සමාගමේ අධ්‍යක්ෂ ජයන්ත පෙරේරා මහතා සඳහන් කළේය.

    එම සමාගම මේවන විට ද Heights Edmonton සහ Heights Colombo 5 යනුවෙන් මහල් නිවාස ව්‍යාපෘති දෙකක් සම්පූර්ණ කර ඇත. Edmonton ව්‍යාපෘතිය මේවන විට ද මුළුමනින් ම අලෙවි වී ඇති අතර 2017 ජුනි මස අගදී එය හිමිකරුවන් වෙත බාර දීමට නියමිතය. Heights Colombo 5 ව්‍යාපෘතියේ ද 50% කට අධික ප්‍රමාණයක් මේවන විට අලෙවී වී ඇත. මෙම ව්‍යාපෘති දෙක ම කොළඹ නගර මධ්‍යයට මෙන් ම සුපිරි වෙළඳසැල්, බැංකු සහ පාසල් ආදී ස්ථානවලට ආසන්නයේ ඉදිකර තිබීම විශේෂත්වයකි.

    මීට අමතරව, රාජගිරියේ මහල් නිවාස 88ක් ද, නාවල ප්‍රදේශයේ මහල් නිවාස 50ක් ද, වෝටර්ස් එජ් ආසන්නයේ මහල් නිවාස 150ක් ද ඉදි කිරීම සඳහා අවශ්‍ය ඉඩම් මේවන විට ද මිලදී ගෙන ඇති බව ද සමාගම පවසයි.

    ඉදිරි සැලසුම් පිළිබඳ අදහස් පළ කරමින් පෙරේරා මහතා සඳහන් කළේ, දැනට ක්‍රියාත්මකවන ව්‍යාපෘති පිළිබඳ සැලකීමේදී ඉදිරි වසර තුන තුළ සිය මුල්‍ය ගලනයේ සහ ප්‍රතිලාභවල දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කරනු ඇති බවයි. මධ්‍යම සහ ඉහළ පෙළේ උස් නිවාස ව්‍යාපෘතිවලට අමතරව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තවත් ඉදිරි පියවරක් තබමින් උඩරට සහ වෙරළබඩ පෙදෙස් කිහිපයක සුඛෝපභෝගී වෙරළබඩ හෝටල් සහ නිවාඩු නිවාස ඉදි කිරීමට ද තමන් සැලසුම් කර ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.