මිල සූත්‍රයෙන් IOC ගොඩේ ගොඩ – මාස 03 ට ශුද්ධ ලාභය රු. මිලියන 938 යි

    May, 16, 2019

    2019 මාර්තු 31 න් අවසන් මූල්‍ය කාර්තුව වෙනුවෙන් රුපියල් මිලියන 938 ක බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභයක් වාර්තා කිරීමට ලංකා IOC සමාගම සමත් වී තිබේ. මෙහි ඇති විශේෂත්වය වනුයේ 2018 වසරේ ජනවාරි-මාර්තු කාර්තුව තුළ දී රුපියල් මිලියන 103 ක ශුද්ධ අලාභයක් වාර්තා කර තිබුණු පසුබිමක මෙම වසරේ දී  මෙම කාලපරිච්ඡේදය තුළ දී මෙලෙස දැවැන්ත ලාභයක් අත්පත් කර ගැනීමට සමාගම සමත්වීමයි.

    2018/19 මූල්‍ය වර්ෂයේ අවසාන කාර්තුවේ දී වාර්තා කළ මෙම සුවිශාල ලාභ අගයයත් සමඟින් මෙම මූල්‍ය වර්ෂය තුළ රුපියල් මිලියන 404.37 ක බදුගෙවීමෙන් පසු ලාභයක් ලංකා IOC පීඑල්සී වාර්තා කර තිබේ. මේ අනුව 2017/18 මූල්‍ය වර්ෂය තුළ දී සමාගමට මුහුණ දෙන්නට සිදුවූ රුපියල් මිලියන 755.56 ක දැවැන්ත අලාභය අභිබවා මෙම  වසර තුළ දී ලාභදායී මාවතකට සමාගම සාර්ථක ලෙස අවතීර්ණ වී ඇත.

    කෙසේ වෙතත් 2018/19 මූල්‍ය වර්ෂය සැලකීමේ දී 2018 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුව තුළ දී රුපියල් මිලියන 986.88 ක අලාභයක් සමාගම වාර්තා කර තිබෙන අතර 2018 සැප්තැම්බර් 30 න් අවසන් කාර්තුව තුළ දී රුපියල් මිලියන 207.31 ලාභයක් සමාගම වාර්තා කර ඇත. තවද මූල්‍ය වර්ෂයේ ආරම්භක කාර්තුව වූ 2018 ජූනි 30 න් අවසන් කාර්තුවේ දී ලංකා IOC සමාගම වාර්තා කර ඇති ලාභය රුපියල් මිලියන 245.86 කි.

    2018 මැයි 10 වැනිදා සිට ඉන්ධන මිල ගණන් තීරණය කිරීම සඳහා මිල සූත්‍ර ක්‍රමවේදය යොදා ගැනුණු අතර වෙළෙඳපොළ විශ්ලේෂකයින් පවසන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසින් අලාභදායී තත්ත්වයක පැවති සිය ව්‍යාපාර ඉහළ ලාභදායීත්වයක් කරා විතැන් කරලීමට ලංකා IOC සමාගමට අවස්ථාව උදා වූ බවයි.