මුදල් අමාත්‍යංශයෙන් මෙරට ශ්‍රම බලකායේ උන්නතිය වෙනුවෙන් පියවර රැසක්

මුදල් අමාත්‍යංශය මැයි දිනය නිමිත්තෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්, මෙරට ජීවනාලිය බඳු වැඩ කරන ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා පියවර රැසක් අනුගමනය කර ඇති බව ප්‍රකාශ කළේය.

රජයේ 2016 අය-වැය වාර්තාව මගින්, සියලු ම රාජ්‍ය සේවකයන් හට රු. 10,000 ක දීමනාවක් ලබා දීමට ප්‍රතිපාදන වෙන් කිරීම එලෙස ගනු ලැබූ වැදගත් පියවරක් බව ද අමාත්‍යංශය එම නිවේදනය මගින් අවධාරණය කරයි. පසුගිය ජනාධිපතිවරණයේදී ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබා දුන් ප්‍රතිඥාව යතාර්ථයක් කරමින්, රාජ්‍ය සේවකයා තෘප්තිමත් කිරීම හරහා එම ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව වැඩිදියුණු කිරීම ඉලක්ක කර ගනිමින් එම පියවර ගත් බව ද අමාත්‍යංශය පවසයි. ඊට අමතරව, සියලු ම පෞද්ගලික අංශයේ සේවකයන් හට රු. 2,500 ක වැටුප් වර්ධකයක් ලබා දෙන ලෙස ද රජය පසුගිය අය-වැය මගින් පෞද්ගලික අංශයෙන් ඉල්ලීමක් කළේය.

ජීවන වියදම ස්ථාවර කිරීම සහ එය අවම කිරීම සඳහා ද අමාත්‍යංශය විසින් විශේෂ පියවර රැසක් අනුගමනය කරන ලදි. 2016 වසරේ අය-වැය සඳහා මුදල් අමාත්‍යංශය ගෙන එන ලද යෝජනාවකට අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රු. 1,400 ක් දක්වා විශාල ලෙස අඩු කෙරුණු අතර, එය දිවයින පුරා වෙසෙන සමස්ත ජනතාවට මහඟු අස්වැසිල්ලක් විය. වත්මන් රජය පාර්ලිමේන්තු මැතිවරණයේදී ලබා දුන් පොරොන්දුවක් ඉටු කරමින්, පෙට්‍රල් රු. 117ක් ද, ඩීසල් රු. 95ක් ද, භූමිතෙල් රු. 65ක් ද දක්වා අඩු කිරීමට අමාත්‍යංශය කටයුතු කළ අතර, එම තත්ත්වය වසර දෙකකට වැඩි කාලයක් පවත්වා ගැනීමට ද අමාත්‍යංශය සමත් වීම විශේෂත්වයකි.

මෙරට තාරුණ්‍යයට මහත් පීඩාවක් ඇති කරන මත් කුඩු මැඩ පැවැත්වීම සඳහා ඉදිරිපත් වූ මුදල් අමාත්‍ය ගරු රවී කරුණානායක මහතා, ක්ෂණික විහිදුම් ඒකකයක් ස්ථාපනය කරමින් මහා පරිමාණ කුඩු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හඳුනා ගැනීම සඳහා එම ඒකකයට අවශ්‍ය සහයෝගය ලබා දුන්නේය. මෙම ක්‍රියාන්විතය හරහා මහා පරිමාණ මත් කුඩු ආනයනකරුවන් රැසක් නීතියේ රැහැනට කොටු කර ගැනීමටත්, ඔවුන් නීති විරෝධී ලෙස උපයා ගත් බිලියන ගණනක් වූ දේපළ සහ මුදල් රාජසන්තක කිරීමටත් මුදල් අමාත්‍යංශය සමත් විය.

මෙරට කෘෂිකර්මාන්තයේ සහ මත්ස්‍ය කර්මාන්තයේ නියැලෙන ජනතාවට මහඟු සහනයක් ලබා දෙමින් අමාත්‍යංශය ආරම්භ කළ ස්වභාවික ආපදා රක්ෂණ සැලසුම, ලොව මෙතෙක් බිහි වූ එවැනි වර්ගයේ පළමු රක්ෂණ සැලසුම බව ලෝක බැංකුව තහවුරු කර සිටී.

මුදල් අමාත්‍යංශය ජාතික ආර්ථිකය ගොඩනැංවීම සඳහා තවත් පියවර රැසක් ක්‍රියාවට නංවා ඇත. ලොව පුරා වැඩ කරන ජනතාව මැයි දිනය සමරන මේ මොහොතේ, මෙරට ආර්ථිකයේ ජීවනාලිය බඳු කම්කරු ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා ඉදිරියේදී ද කැපවන බව ද මුදල් අමාත්‍යංශය සිය මාධ්‍ය නිවේදනය මගින් ප්‍රතිඥා දී ඇත.