මුදල් නෝට්ටු රහිත ගනුදෙනු ප‍්‍රවර්ධනය කිරීමට කොමර්ෂල් බැංකුව සහ PAYable වෙතින් Smart POS-Mini උපකරණ

September, 11, 2020

මෙරට  ඕනෑම ස්ථානයක සිටින වෙළෙඳුන්ට කාඞ්පත් මගින් ගෙවීම් කිරීමේදී ඔවුන්ට එම ගෙවීම් පිළිගැනීමට හැකි ඇන්ඩ්‍රොයිඞ් මිනි පොයින්ට් ඔෆ් සේල් (POS) උපකරණයක් කොමර්ෂල් බැංකුව, PAYable (ප‍්‍රයිවට්) ලිමිටඞ් සමාගම සමග එක්ව පසුගියදා එළි දක්වා තිබේ.

මෙම සම්පූර්ණයෙන් ක‍්‍රියාකාරී ඇන්ඩ්‍රොයිඞ් ස්මාර්ට් පොයින්ට් ඔෆ් සේල් කුඩා උපකරණයට Mag-stripe, EMV සහ Chip තාක්ෂණය සහිත කාඞ්පත් සඳහා ගනුදෙනු සැකසිය හැකිවේ. එසේම, මෙම උපකරණයට Near Field Communication (NFC) ක‍්‍රමයට සහ QR කේත ඉතාමත් වේගයෙන් ස්කෑන් කර ගනුදෙනු කිරීමේ හැකියාවද ඇත. ඉතාමත් හුරුබුහුටි සහ පහසු මෙම උපකරණය සිම් පතක් සහ Wi-Fi සම්බන්ධතාවය යන ක‍්‍රම දෙකටම ක‍්‍රියා කරන අතර ත්‍රෛභාෂා භාවිත මුහුණතකටද සහාය දක්වයි.

මෙම විසඳුම පිළිබඳව කොමර්ෂල් බැංකුවේ කාඞ්පත් මධ්‍යස්ථානයේ ප‍්‍රධානී, තුසිත සුරවීර මහතා මෙසේ අදහස් දැක්වීය. ‘කොමර්ෂල් බැංකුව විසින් ඉදිරිපත් කර තිබෙන මෙම ඇන්ඩ්‍රොයිඞ් Mini POS උපකරණය ඉදිරි සති කිහිපය තුළදී ශ‍්‍රී ලංකාවටම හඳුන්වා දෙනවා. මෙය උපායමාර්ගික වශයෙන් ඉලක්ක කරන්නේ මෙරට ක්ෂුද්‍ර මෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට හඳුන්වා දෙන්නයි. මුදල් නෝට්ටු හුවමාරුවෙන් තොර ගෙවීම් පිළිගැනීමට බලාපොරොත්තු වන වෙළෙඳුන්ට පිරිවැය සඵලතාවයෙන් යුත් විසඳුමක් ලෙස මෙය එම ක්ෂේත‍්‍රයේ විප්ලවයක් ඇති කරන බව අපට විශ්වාසයි. අපගේ වෙළෙඳුන්ට මෙවැනි උපකරණ සහ සේවා හඳුන්වාදීමට හැකිවීම පිළිබඳව කොමර්ෂල් බැංකුව සතුටු වෙනවා. මේ ආකාරයෙන් මුදල් නොවන ගෙවීම් පිළිගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබීම මගින් ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු දියුණු කර ගැනීමට අවස්ථාව හිමි වෙනවා.’

PAYable විසඳුම මගින් ගනුදෙනු සරල කරන අතර පියවර තුනකින් ගනුදෙනුවක් සම්පූර්ණ කිරීමට මෙමගින් අවස්ථාව ලබාදෙයි. මෙම විසඳුම ත්‍රෛභාෂා භාවිත මුහුණතකින්ද සමන්විත වන නිසා එය මෙරට  ඕනෑම භාෂාවක් කතා කරන කෙනෙකුට පහසුවෙන් භාවිතා කළ හැකිවේ. එසේම, මෙහි ස්වයංක‍්‍රීය ගෙවීම් පියවීමේ පහසුකමක් තිබෙන නිසා අතින් පියවීමේ ක‍්‍රම අනුගමනය කිරීමට අවශ්‍ය නොවන අතර වාරික ගෙවීම් මෙහෙයවීමට පහසුකමක්ද මෙහි ඇතුළත් වේ. මීට අමතරව, මෙම පහසුකම මගින් බහු විනිමය ගනුදෙනු කළ හැකි බවද බැංකුව සඳහන් කරයි.

PAYable විසඳුම සහ කොමර්ෂල් බැංකුව සමග ඇතිකර ගත් ඒකාබද්ධතාවය පිළිබඳව PAYable ප‍්‍රයිවට් ලිමිටඞ් සමාගමේ ප‍්‍රධාන විධායක නිළධාරී සහ සම සමාරම්භක, යොහාන් විජේසිරිවර්ධන මහතා මෙසේ අදහස් දැක්වීය. ‘ස්මාර්ට් POS-Mini මගින් නියෝජනය කරන්නේ කුඩා, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා මුදල් නොවන ගෙවීම් පිළිගැනීමේ ඊළඟ පියවරයි. විවිධ වූ පහසුකම් වලින් යුක්තව නිර්මාණය කර තිබෙන මෙම උපකරණය භාවිතා කිරීම තුළින් ව්‍යාපාර වලට ආදායම් වර්ධනය කරගනිමින් ව්‍යාපාර ශක්තිමත් කර ගැනීමට අවස්ථාව හිමි වෙනවා. මෙම උපකරණය හඳුන්වාදීමට කොමර්ෂල් බැංකුව සමග ඒකාබද්ධ වීමට හැකිවීම පිළිබඳව අපි අතිශයින් සතුටු වෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරියේදී මෙරට සෑම ව්‍යාපාරයකටම මුදල් නොවන ගෙවීම් පිළිගැනීම සඳහා අවස්ථාව උදා කිරීමටයි.’

මෙම ස්මාර්ට් POS-Mini උපකරණය අඟල් 4.5 ක ස්පර්ශක තිරයකින් සමන්විත වන අතර ගිගාබයිට් 64 ක් දක්වා දත්ත ගබඩා පහසුකමකින් යුක්ත වේ. එසේම, මෙය ඉතාමත් පහසුවෙන් වොලට් ගනුදෙනු සිදුකිරීම සඳහා ඉතාමත් වේගවත් swipe algorithm එකකට අනුකූලතාවය දක්වයි. මෙම උපකරණයට වීසා සහ මාස්ටර්කාඞ් මගින් ගනුදෙනු කළ හැකි අතර එය ගෙවීම් කාඞ්පත් කර්මාන්ත දත්ත ආරක්ෂණ ප‍්‍රමිතියට (PCIDSS) අනුකූලතාවය දක්වයි. මෙමගින් ලබාදෙන සුවිශේෂී ආරක්ෂාව නිසා කාඞ්පත් හිමියාගේ තොරතුරු මෙහිදී 100%ක් සුරක්ෂිත වනු ඇත.

2016 වසරේදී ආරම්භ කළදා පටන් PAYable විසින් මෙරට වෙළෙඳුන් 22,000 කට වැඩි සංඛ්‍යාවක් සවිබල ගන්වා තිබෙන අතර මෙරට ජංගම දුරකතන POS සේවා සම්පාදන තනි විශාලතම සමාගම වන්නේ මෙයයි. සියළුම ප‍්‍රධාන පිරිවැය සීමාවන් අතික‍්‍රමණය කරමින් PAYable විසින් ඉතාමත් සාර්ථක ලෙස මුදල් නොවන ගනුදෙනු පිළිගැනීමට නොහැකි වෙළෙඳුන් එම ගනුදෙනු පිළිගැනීමට යොමු කිරීමට ඉතාමත් සාර්ථක ලෙස උනන්දු කර තිබේ.

ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 873 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.

බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.