මෙරට විශ්ව විද්‍යාල සිසුන්ගේ දක්ෂතා උරගාබලන INSEE-IESL කොන්ක්‍රීට් චැලේන්ජ් 2017ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ විශාලතම සිමෙන්ති නිෂ්පාදකයාවන ඉන්සි සිමෙන්ති සමාගම මෙරට ඉංජිනේරු වෘත්තිකයින් නියෝජනය කරන ප්‍රධානම සංවිධානයවන ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය හා එක්ව INSEE-IESL කොන්ක්‍රීට් චැලේන්ජ් 2017 තරගය පසුගියදා හඳුන්වාදුනි.

සිව්වැනි වරටත් පැවැත්වෙන මෙම තරගයට මොරටුව, පේරාදෙණිය, රුහුණ, යාපනය, අග්නි දිග හා විවෘත යන රාජ්‍ය විශ්ව විද්‍යාලයන්හි ඉංජිනේරු විෂය හදාරන සිසුන් සහභාගී වන අතර එහිදී අලුත්ම කොන්ක්‍රීට් මිශ්‍රණ නිපදවීම තරගයේ අරමුණ වේ. මෙම සෑම විශ්ව විද්‍යාලයක් තුළම පවත්වන මූලික වටයේ තරගවලදී තෝරාගැනෙන පස්දෙනා බැගින් වූ කණ්ඩායම් තුනක් අවසාන වටයට එක්වනු ඇත.

‟ඉන්සි සංස්ථා” සහ ‟ඉන්සි මහවැලි මෙරීන්” යන ශ්‍රී ලංකාවේ ජනප්‍රියම සිමෙන්ති සන්නාම, ඉන්සි සමාගම විසින් වෙළෙඳපොළට සපයනු ලබන්නේ අන් කිසිදු සමාගමක් හා සංසන්දනය කළ නොහැකි විශිෂ්ටත්වයක් සමඟිනි. මෙවර තරගය සඳහා භාවිත කෙරෙන සිමෙන්ති වර්ගය වන්නේ ‟ඉන්සි එක්ස්ට්‍රා” ය. මහා පරිමාණ ඉදිකිරීම් කර්මාන්තයේදී වැඩි පිරිවැය ඉතිරියක් හා කාබන් දහනය අඩුවීමක් ගෙනදෙන ඉන්සි එක්ස්ට්‍රා, කොන්ක්‍රීට්වල කල්පැවැත්ම හා නිසි පදම වර්ධනය කරයි. පුරා මාස තුනක් පැවැත්වෙන මෙම තරගයේ අවසාන මහා තරගය පැවැත්වෙන්නේ 2017 ඔක්තෝබර් 12 වැනිදා ය. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙරට දැවැන්තම ඉංජිනේරු හා තාක්ෂණ ප්‍රදර්ශනයවන Techno Sri Lanka ප්‍රදර්ශනය අතරතුරේදී එහි ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත්කිරීමට නියමිත ය.

නවෝත්පාදන පදනම් කරගත් ආයතනයක්වන ඉන්සි සිමෙන්ති,වර්තමානයේ ඉදිකිරීම් කර්මාන්තය තුළ මතුව තිබෙන අභියෝග සඳහා විසඳුම් වශයෙන් සිමෙන්ති හා මිශ්‍ර නිෂ්පාදන හඳුන්වා දෙයි. මෙරට ප්‍රධාන පෙළේ විශ්ව විද්‍යාල රැසකම ඉංජිනේරු පීඨ සමඟ සහයෝගීතාවන්ට එළඹෙමින් මෙම නවෝත්පාදන අධ්‍යාපන පහසුකම් ව්‍යාප්ත කිරීමට ද ඉන්සි කටයුතු කර තිබේ. එහිදී නවීන පර්යේෂණ සඳහා අනුග්‍රාහකත්වය දැක්වීම ඔස්සේ සුවිශේෂී නිෂ්පාදන බිහිකරගනිමින් මෙරට ඉදිකිරීම් කර්මාන්තය වැඩිදියුණු කිරීම ඉන්සි සමාගමේ අරමුණ වේ.

‟මෙම තරගය හරහා අපි බලාපොරොත්තු වන්නේ නව දැනුම සම්පාදනය පමණක්ම නොවෙයි. කොන්ක්‍රීට් මිශ්‍රණ ආදී ඉදිකිරීම් කර්මාන්තය ආශ්‍රිත විශේෂ අංශ ගැන අවධානය යොමුකිරීමට අනාගත පරපුර දිරිගැන්වීමත් අපේ අරමුණත්. ඒ වගේම අප හා එක්ව පර්යේෂණ හා නවෝත්පාදනය තුළින් සාම්ප්‍රදායික ඉදිකිරීම් කර්මාන්තයට අභියෝග කිරීමටත් ඔවුන්ට පුළුවන්.  මේ කාර්යයේදී ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයත් සමඟ සම්බන්ධ වීමට අවස්ථාව ලැබීම අපිට විශාල සතුටක්. ඔවුන්ගේ දායකත්වය තුළින් මෙම තරගය පුරාවට ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන් හා භාවිතාවන් පවත්වාගෙන යෑමට අපට හැකිවෙනවා” යනුවෙන් ඉන්සි සිමෙන්ති සමාගමේ වාණිජ අධ්‍යක්ෂ ජනක වීරකෝන් මහතා පැවසීය.

මෙරට ඉංජිනේරු වෘත්තිකයන්ගේ ප්‍රධානතම සංවිධානය ලෙස සැලකෙන ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය මගින් මෙහිදී ස්වාධීන අදහස් දැක්වීමක් හා ඇගැයීමක් ඒ ඒ කණ්ඩායම්වලට ලබාදෙනු ඇත. ‟ශ්‍රී ලංකාවේ ඉංජිනේරුවන්ගේ ජාතික තලයේ ආයතනය වශයෙන් අපේ වගකීම තමයි, රට තුළ ඉංජිනේරු අධ්‍යාපනයේත් භාවිතාවන්ගේත් ප්‍රමිතිය ජාත්‍යන්තර ඉංජිනේරු සංවිධාන හා අනුගතවන ආකාරයට පවත්වාගෙන යාම. INSEE-IESL කොන්ක්‍රීට් චැලේන්ජ් වැනි තරග ඔස්සේ, අපේ රටේ ඉංජිනේරු ක්ෂේත්‍රයට අත්‍යවශ්‍යම දෙයක්වන පර්යේෂණ හා නවෝත්පාදන සඳහා සිසුන් යොමුවීමක් සිදුවෙනවා. ඒ නිසා මේ වැඩසටහනේදී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයාවන ඉන්සි හා අත්වැල් බැඳගැනීමට ලැබීම අපට සතුටක්” යැයි ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සභාපති ජයවිලාල් මීගොඩ මහතා ප්‍රකාශ කළේය.

මෙහිදී ජයග්‍රහණය ලබන කණ්ඩායම් තුනට ඉන්සි වෙතින් මෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළින්ද විශේෂ පිළිගැනීමක් හිමිකරදෙනු ලබන අතර පළමු ස්ථානය දිනාගත් කණ්ඩායමට තායිලන්තයේ දින තුනක සවාරියක් සමඟ ඉන්සි ප්‍රධාන කර්යාලය ද ලොව විශාලම සිමෙන්ති කර්මාන්තශාලා සංකීර්ණය ලෙස සැලකෙන සරාබුරිහි පිහිටා තිබෙන ඉන්සි සිමෙන්ති කම්හල ද නැරඹීමේ අවස්ථාව හිමි වේ. දෙවැනි ස්ථානයට අහුන්ගල්ල රියු හෝටලයේ එක් රාත්‍රියක් ගතකිරීමේ අවස්ථාව ද තෙවැනි ස්ථානයට හික්කඩුව චායා ට්‍රාන්ස් හෝටලයේ රාත්‍රියක් ගත කිරීමේ අවස්ථාව ද උදාවේ.