යහපාලන ආණ්ඩු සමයේ දී ආර්ථිකයේ දැවැන්ත කඩාවැටීමක්. වසර 20කට පසු පළමු වතාවට ඒක-පුද්ගල ආදායම අඩුවෙලා – රාජ්‍ය ඇමති කබ්රාල්

    August, 27, 2020

    පසුගිය 2019 වසරේ දී ඒක-පුද්ගල ආදායම ඩොලර් 227කින් අඩු වී ඇති බවත් වසර 20කට පසු එවැනි පහළ යාමක් වාර්තා වූ පළමු අවස්ථාව එය බවත්, මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. අද (27) දින පාර්ලිමේන්තුවේ දී සිය මංගල කතාව කරමින් ඔහු මේ බව කියා සිටියේය. තවද පසුගිය 2015-2019 වකවානුව තුළ දී අනවශ්‍ය ලෙස පොළී අනුපාත වැඩිකරගැනීමට ද කටයුතු කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

    මෙහිදී වැඩිදුටත් අදහස් දැක්වූ මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා,

    “අපි දැන් ඉදිරිපත් කොට ඇති අතුරු සම්මත ගිණුමෙහි පුනරාවර්තන වියදම් සඳහා රු. බිලියන 987 කුත්, මූලධන වියදම් සඳහා රු. බිලියන 334 කුත්, ණය ආපසු ගෙවීම් සඳහා රු. බිලියන 423 කුත් වෙන් කර තිබෙනවා. මෙය දැවැන්ත මුදලක්. ඒ නිසා විපක්ෂයේ සමහරක් මන්ත්‍රීවරු සිතා සිටිනවා, අපට මෙය කළමනාකරණය කර ගැනීමට බැරි වෙයි කියලා.“

    “කොවිඩ් ඉතාම විශිෂ්ට ලෙස පසුගිය කාලයේ දී පාලනය වුණා. ඒ දැවැන්ත අභියෝගය මධ්‍යයේත් අපේ රටේ ආර්ථිකය දිගින් දිගටම සංවර්ධන මාවතකට ගෙනියන්නට අප කටයුතු කරනවා.“

    “2006 සිට 2014 දක්වා කාලය තුළ දී අපේ රටේ ආර්ථික වර්ධන වේගය සාමාන්‍යයක් හැටියට 6.4ක අගයක් තිබුණා. නමුත් ඊළඟ අවුරුදු 5 තුළ දී යහපාලනය යටතේ ඒ ආර්ථික වර්ධන වේගය සාමාන්‍යයක් හැටියට 3.7කට අඩු වුණා. එපමණක් නෙමෙයි, 2019 වසරේ දී ඒ ආර්ථික වර්ධන වේගය සියයට 2.3කට, අපේ රටේ ආර්ථිකය විවෘත කෙරුවට පස්සේ එක අවුරුද්දක් ඇරෙන්නට අනෙකුත් සෑම අවුරුදුවලින් අඩුම අගයයට තමයි ගිය අවුරුද්දේ පත්වෙලා තිබුණේ.“

    “ඒ සමඟම ඒක-පුද්ගල ආදායම අපි දැක්කා අවරුදු 20කට පස්සේ පළවෙනි වතාවට අඩුවෙනවා. ගිය අවුරුද්දේ ඒකපුද්ගල ආදායම ඩොලර් 227කින් අඩුවුණූ බව මහ බැංකු වාර්තාවලින් පැහැදිලි වෙනවා. ඊට හාත්පසින්ම වෙනස් ආකාරයකට 2006 දී ඩොලර් 181 කින් වැඩිවුණා, 2007 දී 191 කින් වැඩිවුණා, 2008 දී 397 කින් වැඩිවුණා, 2009 දී 43 කින් වැඩිවුණා, 2010 දී 690 කින් වැඩිවුණා, 2011 දී 381 කින් වැඩිවුණා, 2012 දී 226 කින් වැඩිවුණා, 2013 දී 258 කින් වැඩිවුණා, 2014 දී 210 කින් වැඩිවුණා. සෑම අවුරුද්දකටම ඇමරිකානු ඩොලර් 200 ක පමණ ගණනකින් වැඩිවුණු ඒ ආර්ථිකය ඊළඟ අවුරුදු 5 තුළ දී දැවැන්ත ලෙස කඩා වැටීමකට යොමුවුණේ යහපාලන ආණ්ඩුව තිබුණු කාලයේ දී. මේ දත්තවලින් ඉතාම හොඳින් ඒ තත්ත්වය පැහැදිලි වෙනවා.“

    “ණය බර ගැන කතා කරද්දී බොහෝ දෙනෙක් විවිධ මත මේ සභාවෙදීත් ප්‍රකාශ කරලා තියෙනවා. සමහර විට ඒ මත අභියෝගයට ලක්වුණේ නැහැ. මම විපක්ෂයට මතක් කරලා දෙනවා, මමත් මහ බැංකුවේ අවුරුදු 9ක කාලයක් හිටපු අධිපතිවරයෙක්. “

    “2005 අගවෙන කොට අපේ රටේ ණය බරතාවය තිබුණේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව සියයට 91 ක් හැටියට. මහ බැංකුවේ වාර්තාවලින් එය පෙනී යනවා. ඒ වුණාට, සියලුම යටිතල පහසුකම් සංවර්ධනය කරලා, යුද්ධයක් කරලා, රටේ සහ ලෝකයේ තිබුණු සියලුම ප්‍රශ්නවලට මුහුණ දීලා, 2014 අග වෙන කොට ඒ ණය බරතාවය සියයට 72 දක්වා අඩුකරලා තිබුණා. ඒ වුණාට පසුගිය අවුරුදු 5 තුළ දී  කිසිම එවැනි ප්‍රශ්නයක් නොතිබුණත් අපි දැක්කා ණය බරතාවය වැඩිවෙනවා. දිගින් දිගටම ණයබරතාවය වැඩිවුණා. අපි දැක්කා ඒ ණය බරතාවය 2015 දී බිලියන 8,599 ට වැඩිවුණා. 2016 දී බිලියන 9,478 ට වැඩිවුණා, 2017 දී බිලියන 10,702 දක්වා වැඩිවුණා, 2018 දී බිලියන 12,030 දක්වා වැඩිවුණා, 2019 දී බිලියන 13,031 ක් දක්වා වැඩිවුණා.“

    “එපමණක් නොවෙයි, අපේ රටේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණය බරතාවය සියයට 86.8කට වැඩිවුණා. බොහෝ වෙහෙස වී ණය බරතාවය සියයට 91 සිට සියයට 72ට අඩුකරගත් ඒ ප්‍රවණතාවය සම්පූර්ණයෙන්ම අනෙක් පැත්තට කණපිට හරවලා, සියයට 86 දක්වා වැඩිකර ගත්තේ පසුගිය රජය.“

    “අපි පොළී අනුපාතය ගැන කතාකරන්න අවශ්‍යයි. 2014 දී සෑම පොළී අනුපාතයක්ම තිබුණේ තනි ඉලක්කමේ. එහෙම තමයි අපේ රටේ දැවැන්ත ආයෝජන ආවේ. ඒ වුණාට 2015 සිට පොළී අනුපාත වැඩිකර ගත්තා. අනවශ්‍ය ලෙස වැඩිකර ගත්තා. බැඳුම්කර වංචාවෙන් පමණක් සියයට 3 කින් වැඩිකර ගත්තා. ඒකෙන් මොකද වුණේ? අපේ රටේ ණය ප්‍රමාණයට ගෙවිය යුතු මුදල හැම අවුරුද්දෙම වැඩිවුණා.“

    “2014 දී බිලියන 436 අපි ගෙව්වේ ණයවලට පොළිය හැටියට. 2015 දී ඒක වැඩිවුණා 510 දක්වා. 2016 දී 611 දක්වා. 2017 දී 736 දක්වා. 2018 දී 852 දක්වා. 2019 දී 901 දක්වා. එපමණක් නොවෙයි පොළියේ වියදම දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 2014 දී තිබුණේ සියයට 4.2 ක් පමණයි. එය 2019 වෙනකොට සියයට 6 දක්වා වැඩිකර ගත්තා. දැවැන්ත වැඩි කිරීමක්. සියයට 50ක පමණ වැඩිකිරීමක් හරහා අපේ ණය බරතාවය තවදුරටත් අපට ඔරොත්තු නොදෙන තත්ත්වයකට අපට මුහුණ දෙන්න සිදුවුණා.“