යුරෝපා සංගමය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අම්පාරේ සංචාරයක

අම්පාරේ උගන ප්‍රදේශයේ අභිනවයෙන් ඉදි කළ මාතෘ වාට්ටුව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් නියෝජිත මණ්ඩලයේ සහයෝගී ප්‍රධානී ලිබුසේ සුකුපෝවා මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) නියෝජ්‍ය නියෝජිත ආචාර්ය පෝලා බුලන්ශියා මහත්මිය විසින් පසුගියදා විවෘත කෙරිණ. යුරෝපා සංගමය සහය දෙන දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ (EU-SDDP) අරමුදලින් UNICEF ආයතනය විසින් අලුතින් ඉදි කරන ලද මෙම මාතෘ වාට්ටුව ප්‍රදේශයේ පදිංචි 65,000 කට අධික පිරිසකට ප්‍රතිලාභ සලසයි. පවුල් සැලසුම්කරණය, සුරක්ෂිත ළදරු උපත්, එන්නත් ලබා ගැනීම සහ මවු කිරි ලබා දීමට මවුවරුන් උනන්දු කිරීම ආදී ළමුන්ට සහ කාන්තාවන්ට විශේෂයෙන් වැදගත්වන ක්ෂේත්‍ර සඳහා මෙවැනි සෞඛ්‍ය පහසුකම් වඩාත් වැදගත් වේ. අලුතින් ඉදිකරන ලද මෙම මාතෘ වාට්ටුව මාතෘ සහ ළමා මරණ අවම කරමින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වඩාත් යහපත් ප්‍රගතියක් අත්පත් කර ගැනීම සඳහා මහෝපකාරී වෙයි.

අම්පාර පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යංශය ද සුකුපෝවා මහත්මිය සහ ආචාර්ය බුලන්ශියා මහත්මිය අතින් මෙහිදී ආරම්භ විය. යුරෝපා සංගමය සහ UNICEF ආයතනයේ මගපෙන්වීම යටතේ ආරම්භ කෙරුණු මෙම කාර්යංශය එම ප්‍රදේශයේ 45,000කට අධික පිරිසකට ප්‍රතිලාභ සලසනු ඇත. දූෂණයට සහ ප්‍රචණ්ඩත්වයට ලක්වන කාන්තාවන්ට සහ ළමුන්ට ආත්ම විශ්වාසයෙන්, ආරක්ෂිතව සහ පුද්ගලිකත්වය රැක ගනිමින් සිය පැමිණිලි බලධාරීන් වෙත ඉදිරිපත් කළ හැකි පරිසරයක් ගොඩනගමින් කාන්තා හා ළමා කවුළුවක් (WCD) මෙහි ස්ථාපනය කර ඇත. අනතුරට ලක් විය හැකි ළමුන් හට ඔවුන්ගේ ආත්ම අභිමානය සහ පුද්ගලිකත්වය රැක ගැනීම සඳහා ඇති අයිතියට ගරු කරන ආරක්ෂිණත අවකාශයක් නිර්මාණය කිරීම සඳහා UNICEF සංවිධානය එම ප්‍රදේශය තුළ ක්‍රියාත්මක කරන ළමා ආරක්ෂණ වැඩසටහනේ එක් සුවිශේෂී පියවරක් ලෙස ද හැඳින්විය හැකිය. පොලිස් දෙපාර්තමේන්තුව, නීතිය සහ සාමය අමාත්‍යාංශය, පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික ළමාරක්ෂක අධිකාරිය සහ ග්‍රාමීය සංවර්ධන පදනම ද මෙම ව්‍යාපෘතිය සඳහා දායකත්වය ලබා දුන්නේය.

අම්පාර දිස්ත්‍රික්කය යනු මෙරට වී වගාව සඳහා විශාල ම දායකත්වය ලබා දෙන ප්‍රදේශයයි. එහෙත් එම දිස්ත්‍රික්කයේ ප්‍රමිතියෙන් උසස් බිත්තර වී ලබා ගැනීමේ හැකියාව ඇත්තේ ගොවීන්ගෙන් 40%ක ප්‍රමාණයකට පමණි. EU-SDDP වැඩසටහන යටතේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) විසින් ඉදිකරන ලද සමන්තුරේ බිත්තර වී පිරිසැකසුම් මධ්‍යස්ථානය ද මෙම නියෝජිත මඬුල්ලේ නිරීක්ෂණයට ලක් විය. ගොවි සාමාජිකයන් 25 දෙනෙකුගෙන් යුතු ගොවි සංවිධානයට බිත්තර වී නිෂ්පාදනය සඳහා අවශ්‍ය පහසුකම් මෙම මධ්‍යස්ථානය මගින් හිමිකර දෙයි. මෙම වැඩසටහනට සහයෝගය දැක්වීමක් ලෙස කෘෂි සංවිධානය විසින් පර්චස් 40ක භූමි ප්‍රමාණයක් මිලදී ගත් අතර UNDP ආයතනය පිරිසැකසුම් කටයුතු සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විත ගොඩනැගිල්ලක් එම ඉඩමේ ඉදිකරන ලදි.

මීට අමතරව, EU-SDDP වැඩසටහනේ අරමුදලින් යුරෝපා සංගමය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) එක්ව වැඩිදියුණු කරන ලද තිරුක්කෝවිල්හි කන්චිකුඩිච්චාරු වැව අම්පාර වාරිමාර්ග දෙපාර්තමේන්තුවට නිල වශයෙන් බාර දීම ද මෙම සංචාරය අතරතුර සිදු විය. FAO සංවිධානයේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් නියෝජිත නීනා බ්‍රෑන්ඩ්ස්ට්‍රප්ට් මහත්මිය වැවේ සොරොව්ව විවෘත කළාය. ගොවි පවුල් 1130කට ප්‍රතිලාභ ලබා දෙන මෙම ව්‍යාපෘතිය වැවේ ජල ධාරිතාව වැඩි කිරීමේ අරමුණින් FAO සංවිධානය විසින් ක්‍රියාත්මක කරන ලදි. මින් පෙර මහ කන්නයේදී අක්කර 1700ක් ද, යල කන්නයේදී උපරිම වශයෙන් අක්කර 1100ක් ද වගා කෙරුණු අතර, වැවේ ප්‍රතිසංස්කරණ කටයුතුවලින් අනතුරුව යල කන්නයේදී අමතර අක්කර 600ක් වගා කිරීමේ හැකියාව පවතී. මේ අනුව වැව් බැම්මේ උස වැඩි කිරීම සහ වැවේ සොරොව්ව ආශ්‍රිතව සිදු කෙරුණු අලුත්වැඩියා කටයුතු හේතුවෙන් අමතර වී මෙට්‍රික් ටොන් 1200ක් අම්පාර දිස්ත්‍රික්කයෙන් අපේක්ෂා කෙරේ. කන්චිකුඩිච්චාරු වාරි යෝජනා ක්‍රමය අවට ශාක 300ක් වගා කිරීම ද මෙහිදී සිදු විය.