රජයේ කොන්ත්‍රාත්තුවල පිරිවැය, ඇස්තමේන්තු මිලට වඩා වැඩිවීම පාලනයට මංගලගෙන් යෝජනාවක්

    June, 14, 2018

    රජය විසින් ක්‍රියාවට නංවනු ලබන යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළ කොන්ත්‍රාත් පිරිනැමීමේදී ඒවා බොහෝමයක ඉංජිනේරු ඇස්ත‍මේන්තුව ඉක්මවූ මුදලකට කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමත්, ව්‍යාපෘති ක්‍රියාත්මක කරන අතරතුර ඒවායේ පිරිවැය ඉහළ යාමත් නිතර සිදුවන බව පෙනී ගොස් ඇත.

    මෙම තත්ත්වය නිවැරදි කිරීම සඳහා නිසි යන්ත්‍රණයක් හඳුන්වා දීමත් යථාර්ථවාදී පිරිවැය ඇස්තමේන්තු සකස් කිරීම සඳහා ප්‍රසම්පාදන අස්ථිත්වයන්ට මඟ පෙන්වීමත් කාලීන අවශ්‍යතාවක් බව හඳුනාගනු ලැබ ඇත.

    ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන ප්‍රසම්පාදන කමිටුවල අධිකාරි බලය යටතේ වන යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවල මුළු පිරිවැය ඇස්තමේන්තු හා කොන්ත්‍රාත් පිරිවැය විචලනයන් සමාලෝචනය කිරීම සඳහා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ අදාළ නිලධාරින්ගෙන් සමන්විත පිරිවැය ඇස්තමේන්තු සමාලෝචන කමිටුවක් ස්ථාපිත කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.