රට පුරාම LANKAQR

    October, 5, 2020

    වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් “රටපුරාම LANKAQR“  ජාතික සමාරම්භක අවස්ථාව අද (2020 ඔක්තෝම්බර් මස 05) දින ශ්‍රී ලංකා මහ බැංකුවේදී සනිටුහන් කරන ලදී.  මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මුල්‍ය ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝගීතා රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සහ සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරු ද මෙම සමාරම්භක උළෙලට සහභාගී විය.  ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මාහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා සහ මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ඇතුළු මුදල් මණ්ඩලයේ සාමාජික මහත්ම මහත්මීන් ද සහභාගී විය. 

    රාජ්‍ය ආයතන, දෙපාර්තමේන්තු, බැංකු, ගෙවීම් සැපයුම් සේවා, වෙළඳ, සෞඛ්‍ය සහ මාධ්‍ය ආයතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ද මෙම අවස්ථාවට සහභාගී විය.

    ශ්‍රී ලංකා මහ බැංකුව, බලපත්‍ර ලාභී මුල්‍ය ආයතන සහ ලංකා ක්ලියර් පුද්ගලික ආයතනය සමග එක්ව සමාජයේ මුදල් භාවිතය අවම කිරීම සහ මුල්‍ය අන්තර්ගත භාවය අවම කිරීම අරමුණු කොටගෙන LANKAQR හඳුන්වාදීමට කටයුතු කරන ලදි. පාරිභෝගිකයින්ට LANKAQR කේතය උපයෝගී කොටගෙන, එම පහසුකම ඇති බැංකු සහ මුල්‍ය ආයතන වල ඇති තම ගිණුම හරහා, ගනුදෙනු කිරීම සඳහා ලබා දී ඇති මොබයිල් යෙදුම් භාවිතා කර ව්‍යාපාර වලට සහ සේවා සපයන ආයතන වලට ගෙවීම් කිරීමේ පහසුව සලසා දී ඇත. මෙය විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඉලක්ක කරගත් අඩු වියදම් ඩිජිටල් ගෙවීම් ක්‍රමයක් වේ. LANKAQR මුද්‍රිත ලේබලය LANKAQR සාමාජික ආයතන විසින් ව්‍යාපාරිකයන් වෙත තම ව්‍යාපාරික ස්ථානයේ ප්‍රදර්ශනය කිරීමට නොමිලේ ලබා දෙනු ලැබේ.  ශ්‍රී ලංකා මහ බැංකුව ඉහළම වෙළඳ වට්ටම් අනුපාතය (වෙළෙඳුන් විසින් LANKAQR කේතය නිකුත් කරන බැංකුවට ගෙවන මුදල) 2020 වර්ෂය තුල  0.5% ලෙස නියම කොට ඇත.  LANKAQR භාවිතා කොට ගනුදෙනු කරන පාරිභෝගිකයින් වෙතින් කිසිඳු අයකිරීමක් නොකරනු ඇති අතර මෙයට අමතරව රාජ්‍ය ආයතන සඳහා කරනු ලබන සියළු ගෙවීම් සඳහා ද නොමිලේ පහසුකම් සලසනු ලැබේ.  මෙම ක්‍රමවේදය තුළින් ආර්ථිකයට අත්වන ප්‍රයෝජන සලකා බලා 2020 වර්ෂය අවසාන වන විට ව්‍යාපාර මිලියනයකට ආසන්න ප්‍රමාණයක් LANKAQR ගෙවීමේ පහසුකම බැංකු ආයතනවිසින් ලබා දීමට කටයුතු කරනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව බලාපොරොත්තු වේ.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති කේ. එම්. සිරිවර්ධන මහතා රැස්ව සිටි පිරිස පිළිගත් අතර, මෙම කර්තව්‍ය මුල්‍ය අන්තර්ගතභාවය වැඩි කිරීමට සහ වාණිජ්‍ය කටයුතු ශක්තිමත් කිරීමටත් ඒ තුළින් ආර්ථිකය සෞභාග්‍ය කරා ගෙනයාමටත් ඉවහල් වන බව සඳහන් කළේය.

    ගෙවීම් හා පියවීම් අධ්‍යක්ෂ ධර්මශ්‍රී කුමාරතුංග මහතා, පාරිභෝගිකයින්ට සහ ව්‍යාපාරිකයින්ට LANKAQR භාවිතා කිරීමෙන් අත්වන විශේෂ ප්‍රයෝජන පැහැදිලි කළ අතර, ශ්‍රී ලංකාවේ LANKAQR පදනම් කරගත් ගෙවීම් ප්‍රවර්ධනය කිරීම සඳහා වු මෙම කර්තව්‍යය කිසිඳු විදේශ සහායක් නොමැතිව සාමුහික ක්‍රිියාකාරීත්වය තුළින් උදාකරගත් ප්‍රතිඵලයක් බවත් එය රටට විශාල ඉතිරියක් බවත් සඳහන් කළේය.

    මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ  සහ රාජ්‍ය  ව්‍යවසාය ප්‍රතිසංස්කරණ, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාර්ඩ් කබ්රාල් මහතා රටක් වශයෙන් නව තාක්ෂණයන් භාවිතයට නැඹුරු වීමේ වැදගත්කම පෙන්වා දුන් අතර, 2000 වසරේ සිට ආරක්ෂිත සහ කාර්යක්ෂම ගෙවීම් ක්‍රමවේදයක් ඇති කිරීමට මහ බැංකුව දරන උත්සාහය ඉදිරියට ගෙන යමින් රටෙහි වාණිජ කටයුතු ඉහළ නැංවීමට දරන ප්‍රයත්නයට සුභ පැතුම් එක් කළේය.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, මහාචාර්ය ඩබ්ලිව්. ඩී.  ලක්ෂ්මන් මහතා, මුදල් කළමනාකරණ පිරිවැය අඩු කිරීම සහ මූල්‍ය සේවා සඳහා ප්‍රවේශය ඉහල නැංවීම  ඇතුළු ආර්ථිකයට ඩිජිටල් ගෙවීම්වලින් අත්වන ප්‍රතිලාභ පෙන්වා දුන්නේය. LANKAQR මුලාරම්භයට ශක්තිමත්ව හා උද්යෝගයෙන් සම්බන්ධ වී එය මහජනයා අතර ප්‍රවර්ධනය කිරීමට මූල්‍ය ආයතන දරන උත්සාහය අධිපතිතුමාගේ ප්‍රශංසාවට ලක් විය.

    ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උත්සවයට සහභාගී වු, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, LANKAQR හඳුන්වාදීම පිළිබඳව  මහ බැංකුවට සහ මූල්‍ය ආයතනවලට සුභ පැතූ අතර සාමාන්‍ය ජනතාවට ඉතා අඩු වියදමකින් ඩිජිටල් ගෙවීම්වල ප්‍රතිලාභ භුක්ති විඳිය හැකි වන පරිදි LANKAQR භාවිතයට ගැනීමට සියලු ව්‍යාපාර හා රාජ්‍ය සේවාවන් දිරිමත් කළේය. තවද, රු. 100ට අඩු ගනුදෙනු සඳහා කිසිඳු අය කිරීමක් නොකරන ලෙස මුල්‍ය ආයතන වලින් අමාත්‍යවාරයා ඉල්ලීමක් කළේය. එසේම, මාධ්‍ය ආයතන සහ අනෙකුත් ව්‍යාපාර වල සම්පුර්ණ සහය මෙම ජාතික කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා දෙන ලෙසද එතුමා ඉල්ලීමක් කළේය.  උත්සවය අතරතුර වෙළෙඳ අමාත්‍යවරයා නිල වශයෙන් LANKAQR ලාංඡනය දියත් කළ අතර LANKAQR සක්‍රීය ගෙවීම් යෙදුමක් භාවිතා කරමින් “ඉටුකම“ COVID අරමුදල සඳහා මූල්‍ය ආධාරයක්  සිදු කළේය.

    “රටපුරාම LANKAQR“ මුලාරම්භය සනිටුහන් කරමින් සියළු  LANKAQR සාමාජික බැංකු, මූල්‍ය ආයතන සහ විද්‍යුත් මුදල් සේවා සැපයුම් කරුවන්, නව ව්‍යාපාරිකයන් LANKAQR භාවිතයට සම්බන්ඳ කර ගැනීම සඳහා 2020 ඔක්තෝම්බර් 10 දින තම රටපුරාම LANKAQR වැඩසටහන දියත් කිරීමට කටයුතු සැලසුම්කර ඇත. මහජනතාවට සහ ව්‍යාපාරික ප්‍රජාවට මෙම අවස්ථාවට සහභාගී වී LANKAQR භාවිතය ආරම්භ කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවට ඉල්ලා සිටී.

    LANKAQR අනුකූල QR කේත මේ වන විට ලංකා බැංකුව, කාර්ගිල්ස් බැංකුව, කොමර්ෂල් බැංකුව, ඩී.එෆ්.සී.සී. බැංකුව, හැටන් නැෂනල් බැංකුව,  නේෂන්ස් ට්‍රස්ට් බැංකුව , එන්.ඩී.බී. බැංකුව, මහජන බැංකුව, පීපල්ස් ලීසිං සහ ෆිනෑන්ස් සමාගම,  සම්පත් බැංකුව, සණස සංවර්ධන බැංකුව, එල්.බී. ෆිනෑන්ස් සමාගම, එල්.ඕ.එල්.සී.   ෆිනෑන්ස් සමාගම , ඩයලොග් ආසියාටා සමාගම  සහ මොබිටෙල් (පුද්) සමාගම මගින් නිකුත් කර ඇත. LANKAQR සක්‍රීය යෙදුම් වන්නේ BOC SmartPay, DirectPay, Onepay, OrelPay, ComBank Q +, Flash, DFCC Pay, FriMi, NDB NEOS, WePay, UPay, CIM, iPay, Dialog eZ Cash සහ Mobitel mCash.