රටේ ගිණුම් පද්ධතිය ලොකු අවුලකට පත්වෙලා. රටේ ණය තවමත් හොයාගන්න බැහැ – විගණකාධිපති

    February, 12, 2019

    මේ වන විට මෙරට රාජ්‍ය ගිණුම් පද්ධතිය විශාල අවුලකට ලක්ව ඇති බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසයි. දෙරණ talk with Chathura වැඩසටහන සමඟ එක්වෙමින් විගණකාධිපතිවරයා මේ බව කියා සිටියේය. මෙහිදී අදහස් දක්වමින් විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා, “රටේ ණය තවමත් හොයාගන්න බැහැ. ඒක හොයන්න පුළුවන් එකක් නෙමෙයි“, යැයි පැවසුවේය.

    ප්‍රශ්නය - රටේ ණය බර ට්‍රිලියන 11 ක් කියලා කියනවා?

    පිළිතුර - ඒ සටහන් වෙලා තියෙන ගාණ. ඒක කියන්න පුළුවන් ඕන කෙනෙකුට. මහ බැංකුව කියන ගණන තමයි ට්‍රිලියන 11, ඒක මහ බැංකුවේ පොත්වල තියෙනවා. ඊට අමතරව ණය තව විශාල ප්‍රමාණයක් තියෙනවා. මහ බැංකුවේ අනුමැතියෙන් තොරව, එහෙම නැත්නම් ඒ චැනල් එකෙන් පිට ණය ගැනීම් ක්‍රමවේද ගොඩාක් තියෙනවා. ඒ නිසා තමයි ඒ ප්‍රශ්නය වෙලා තියෙන්නේ.

    ප්‍රශ්නය - මේක වැරැද්දුවේ ගිය ආණ්ඩුවද?

    පිළිතුර - මේක පසුගිය දශක දෙක පමණ තුල, විශේෂයෙන්ම පසුගිය කාලයේ මේ ණය පිළිබඳ ප්‍රශ්නය පැනනැගුණු නිසාම, මධ්‍යම ණය ගැනීමේ බව විමධ්‍යගත මට්ටමකට පත් කළා. ඒ හරහා ණය ගත්තා, සටහන් වුණා, එක එක තැන්වල වාර්තා වෙලා තියෙනවා. නමුත් අපි කියන ගනුදෙනු ඇතුළට, එකතු වීමේ නැති ප්‍රශ්නේ තමයි එතන තියෙන්නේ.

    ප්‍රශ්නය - එතකොට අපේ රට කීයක් ණයද කියලා, කවුරු හරි ඇහුවොත් ?

    පිළිතුර - දන්නේ නැහැ කියන්න.

    අපි ණය ගත්ත ප්‍රමාණය දන්නවා නම් විතරනේ අපිට ඒක ගෙවන්න ලැහැස්ති වෙන්න පුළුවන් වෙන්නේ. නමුත් විශේෂයෙන්ම රටේ, ගිණුම් පද්ධතිය ලොකු අවුලකට පත්වෙලා තියෙන්නේ. ගොඩාක් රාජ්‍ය ආයතනවල Single entry කියන සිස්ටම් එකට තමයි ගිණුම් පවත්වා ගෙන යන්නේ. එතකොට අපිට හොයා ගන්න පුළුවන්කමක් නැහැ, ඇත්ත වශයෙන්ම, ණය ගත්තාම ණය ශේෂය.

    හුඟක් වෙලාවට මුදල් පදනමට (cash basis) ගිණුම් පවත්වන්නේ. එතකොට ගෙවිය යුතු ශේෂයන් විශාල වශයෙන් ආයතනවල තියෙනවා. ඒක හරියට වාර්තා වෙන්නේ නැහැ. හරියටම නිවැරදි ශේෂයක් හඳුනාගන්න ක්‍රමවේදයක් තවමත් ඇත්තටම නැහැ.