රට දියුණු කිරීමේ නියම මාවත ජාති – ආගම් අතර ඇතිවන සහෝදරත්වයයි – අර්ජුන කියයි

    June, 14, 2018

    ඉතිහාසයේ ප්‍රථම වතාවට තෙල් සංස්ථාවේ ඉෆ්තාර් උත්සවයක්..

    ජාති - ආගම් අතර ඇති වන සොහෝදරත්වය රට දියුණු කිරීමේ නිවැරදි මාවත බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. එතුමා මේ බව කියා සිටියේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කොලොන්නාව නිමාවේ පැවැති ඉෆ්තාර් උත්සවයට සහභාගි වෙමිනි. කුඩා කාලයේ සිට ජාතීන් වශයෙන් ආගම් වශයෙන් බෙදී සිටීමට අපට පුරුදු කළත් දැන්වත් එම පුරුද්ද අතහැර රටක් වශයෙන් ඉදිරියට යාමේ වැදගත්කමද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

    ඉස්ලාම් බැතිමතුන්ගේ දෛනික රාමසාන් උපවාසය අත් හැරීමේ ඉෆ්තාර් උත්සවයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කොලොන්නාව නිමාවේ පැවතියේ ඊයේ (13) රාත්‍රියේයි. අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ආරාධනාවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොගගබඩා පර්යන්ත සමාගමේ ඉස්ලාමීය බැතිමතුන් මෙන්ම කොළඹ අවට ප්‍රදේශයේ ඉස්ලාමීය බැතිතුමන්ද මෙම උත්සවයට එක්ව සිටියහ. උත්සවය සංවිධානය කළේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති දම්මික රණතුංග මහතාගේ මූලිකත්වයෙන් ලංකා ඛනිජ තෙල් තොගගබඩා පර්යන්ත සමාගම විසිනි. උත්සවයේදී ඉස්ලාමීය බැතිමතුන් අමතමින් වැඩිදුරටත් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේ ශ්‍රී ලාංකිකයන් ලෙස නොසිතන තාක්කල් රට ඉදිරියට නොයන බවයි.

    “ඉතිහාසයේ බොහෝ අවස්ථාවලදී අපි ජාතීන්, ආගම් ලෙසින් බෙදී එකිනෙකා මරාගෙන, වෛරය ක්‍රෝධය ඇති කර ගත්තා මිස සහෝදරත්වය අපි අතර ඇති වුණේ නැහැ. ඇතැම් විට අපි බෙදෙන්න පටන් ගන්නේ පොඩි කාලේදී. අම්මාගේ කුසෙන් ඉපදිලා පාසල් යන්න ගත්ත පළමු අවස්ථාවේදීම අපි බෙදෙන්න පටන් ගන්නවා. ඒ සිංහල, මුස්ලිම්, දෙමළ පාසල් කියමින්. පාසලින් පසුව ආයතනයේදී සමාජයේදී අපි බෙදෙන්න පටන් ගන්නවා. පසුගිය අවුරුදු තුනේදීම රජයක් විදියට අපි උත්සාහ ගත්තේ මේ බෙදීම නැති කරන්න. අවම කරන්න. ඇත්තටම අපි අතරේ සමඟියක් සහෝදරත්වයක් සහජීවනයක් ඇති කරන්න අමතුම ආකාරයේ වැඩපිළිවෙල් දියත් කරන්න අවශ්‍ය නැහැ. එය අපේ සංස්කෘතියේම කොටසක්. අපි සිංහල අලුත් අවුරුද්දට කැවිලි පාර්සලය අරන් ඉස්ලාමීය බැතිමතුන්ගේ නිවෙස්වලට යනවා. ඉස්ලාමීය බැතිතුමතුන් බුරියානි පාර්සලය රැගෙන මේ දවස්වල සිංහල නිවෙස්වලට එනවා. ඉතිං අප අතරේ බෙදීමේ ප්‍රශ්න නැහැ. නමුත් ඇතැම් බලවේග ජාති වශයෙන් ආගම් වශයෙන් අපිව බෙදීමට කටයුතු කරනවා. අද අපි මුහුණ දෙන විශාලතම අභියෝගය වන්නේ එකී බලවේගලට මුහුණ දීම. එය බොහෝ විට අද සාර්ථක වී ඇතැයි මම විශ්වාස කරනවා.....” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් කියා කියා සිටියේය. උත්සව සභාව අමතමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති දම්මික රණතුංග මහතාද සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේ ආයතනයේ දියුණුවටත් රටේ දියුණුවටත් ජාති - ආගම් භේද අතහැර එකාවන්ව කටයුතු කරන ලෙසයි.

    “මීට කලින් අපේ ඇමැතිතුමා වරාය ඇමති ලෙස කටයුතු කළා. ඒ කාලේ අපි වරායේ සිටින විටත් සියලුම ජාතීන්ගේ උත්සව සැමරීමට ප්‍රතිපත්තියක් ලෙස අපි ක්‍රියාත්මක වුණා. අපි දන්නවා පසුගිය කාලේ විවිධ පුද්ගලයින් විසින් ජාතීන් හා ආගම් සම්බන්ධව විවිධ මත ප්‍ර‍කාශ කළා. ඒත් ඒ හැමෝටම අමතක වෙනවා අපේ ඇගේ දුවන්නේ එක පාට ලේ කියලා. ඒ කාරණාව මතක තියාගෙන අපි සියලු දෙනාම එක්ව රටක් හැටියට කටයුතු කරනවා නම් විශාල දියුණුවක් කරා යන්න පුලුවන්....” යැයිද සභාපති දම්මික රණතුංග මහතා පැවසීය. උත්සව අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් උපාලි මාරසිංහ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ නීල් ජයසේකර සහ ලංකා ඛනිජ තෙල් තොගගබඩා පර්යන්ත සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ සංජීව විජයරත්න ඇතුළුව සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූහ.