රත්නපුර ‘විදුලිය’ Airtel Fastest හි දිදුලයි

June, 11, 2019

එයාර්ටෙල් ආයතනය මගින් දිවයිනේ වේගවත්ම සහ අද්විතීයම නවක වේග පන්දු යවන්නන් සොයා ආරම්භ කළ ‘Airtel Fastest 2019’ වැඩසටහනේ ජයග‍්‍රාහකයා බවට එෂාන් මාලිංග පත්වූයේය. රත්නපුර සීවලි මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වන ඔහු මෙම තරගයේදී පැයට කිලෝමීටර් 133 ක වේගයකින් පන්දු යවමින් එම ජයග‍්‍රහණය තමන් සතු කරගෙන තිබුණි.

‘මම මුලින්ම කි‍්‍රකට් පටන් ගත්තේ සැහැල්ලූ පන්දු කි‍්‍රකට් වලින්. කි‍්‍රකට් ක‍්‍රීඩාව ගැන මගේ සෑහෙන උනන්දුවක් තිබුණා. ඒ නිසා මට හැමවිටම කි‍්‍රකට් ක‍්‍රීඩාවේ යෙදෙන්න අවස්ථාවන් ලැබුණා. දිස්ති‍්‍රක් සංගමය හරහා මට ක‍්‍රීඩා සමාජයක ස්ථානයක් ලැබුණා. එතැනදි තමයි මම මුල් වරට ලෙදර් පන්දුවෙන් ක‍්‍රීඩා කළේ’ යැයි සිය මතකය අවදි කරමින් එෂාන් පවසයි.

එෂාන් මාලිංගගේ ‘Airtel Fastest 2019’ හි මූලික වටයේ පන්දු යැවීමේ වේගය සටහන් වූයේ පැයට කිලොමීටර් 127 ක් වශයෙනි. නමුත් ප‍්‍රවීන වේග පන්දු පුහුණුකරු අනූෂ සමරනායක විසින් පැවැත්වූ වේග පන්දු යැවීම පිළිබඳ තාක්ෂණික සැසිවාර කිහිපයකට සහභාගී වීමෙන් අනතුරුව එෂාන්ගේ පන්දු යැවීමේ තාක්ෂණයේ සේම වේගයේද යම් සුවිශේෂී වෙනසක් දක්නට ලැබිණි.

‘අනූෂ සර් මගේ පන්දු යැවීමේ තාක්ෂණික අඩුපාඩු පෙන්වා දුන්නා විතරක් නෙමෙයි පන්දුවේ වේගය වැඩි කරන්නේ කොහොමද කියලත් කියලා දුන්නා. ඔහු කිහපු ආකාරයටම මම ඒ පුහුණුවීම් වල නිරත වුණා. එහි ප‍්‍රතිඵලයක් හැටියට පැයට කිලෝමීටර් 133 ක් දක්වා පන්දුවේ වේගය වැඩිකරගෙන දෙවැනි වටයට යන්න මට අවස්ථාව උදා වුණා’ යි එෂාන් වැඩිදුරටත් පවසා සිටියේය.

එම ගුරුහරුකම් මධ්‍යයේ සිය දක්ෂතා වැඩිදියුණු කර ගත් එෂාන් ශ‍්‍රී ලංකාවේ විශිෂ්ඨ පන්දු යවන්නෙක් වන චමින්ද වාස්ගේ මග පෙන්වීම යටතේ ‘Airtel Fastest 2019’ දෙවැනි වටය සඳහා සුදුසුකම් ලබන්නේ ඒ අයුරෙනි.

‘චමින්ද වාස්ව රූපවාහිනියේ දැකලා තියෙනවා. ඔහුව හමුවුණ පළමු අවස්ථාව මේක. ඔහුගෙන් ලද පුහුණුවීම් මගේ දක්ෂතා තවදුරත් වර්ධනය කර ගන්න මට මහත් රුකුලක් වුණා. ඔහු සමග කළ සෑම පුහුණු සැසියක් පිළිබඳවම විඩියෝ දර්ශන මගින් නැවත නැවතත් විස්ලේශනය කරා. ඒක අපේ වැරදි නිවැරදි කර ගැනීමට සහ අපේ දක්ෂතා තවදුරටත් වැඩි දියුණු කර ගැනීමට අතිශයින්ම උපකාරී වුණා.’ යි සිය අත්දැකීම් සිහිපත් කරන එෂාන් පවසයි.

ජ්‍යෙෂ්ඨ පාසල් ශිෂ්‍යයෙකු වශයෙන් අධ්‍යාපනය සහ ක‍්‍රීඩාව සමබරව කරගෙන යාම එතරම් පහසු කාරණයක් නොවෙයි. එය දැඩි අභියෝගයකි. රත්නපුර වැනි ප‍්‍රදේශයක සිට කොළඹට පැමිණීමේදී ජීවිතයේ තවත් අභියෝග රාශියකට මුහුණ පෑමට සිදු වූ බව කියන එෂාන්, ‘මේක පහසුවෙන් ආ ගමනක් නොවෙයි. මගේ ජීවිතයේ බොහෝ බාධාවන් මට තියෙනවා. විශේෂයෙන් ආර්ථිකමය බාධාවන්. ඒත් මගේ දෙමව්පියන් ඒ දුෂ්කරතාවයන් සියල්ල විදදරාගෙන මේ තරගය සඳහා එන්න අවශ්‍ය දේවල් මට ලබා දුන්නා. ඔවුන්ගේ සහයෝගය මේ තරගය තුළ ඉදිරියටම එන්න බෙහෙවින් ඉවහල් වුණා. මට තියෙන අනෙක් අභියෝගය තමයි ක‍්‍රීඩාව වගේම අධ්‍යාපන කටයුතු සමබරව කිරීම. මට අතපසු වූ පාඩම් ආදිය ආවරණය කරගන්න උදව් කරන ගුරුවරුන්ට සහ මගේ යහලූවන්ට ස්තූති කරන්න මේක අවස්ථාවක් කර ගන්නවා’ යි කීය.

ලංකාව පුරා විසිරී සිටින සෑම ක‍්‍රීඩකයෙකුගේම බලාපොරොත්තුව ශ‍්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමයි. එෂාන්ටද ඇත්තේ එවැනිම සිහිනයකි.

‘මගේ අනාගත සැලසුම වී තිබෙන්නේ මගේ රට නියෝජනය කරන්න. ‘Airtel Fastest 2019’ ඒ සඳහා මට හොඳ වේදිකාවක් තනා දුන්නා. හොඳම පුහුණුකරුවන් සහ ක‍්‍රීඩකයින්ගෙන් මම එහිදී ඉගෙන ගත්තා. ඒ අතරින් වේග පන්දු පුහුණුකරුවන් වූ අනූෂ සමරනායක සහ චමින්ද වාස් යන පුහුණුකරුවන්ගෙන් ලැබුණු ගුරුහරුකම් අති මහත්’ යැයි පැවසුවේය.

මෙම ජයග‍්‍රහණය ලබා ගැනීමේදී පවුලේ උදවිය, මිතුරන් සහ ඔහුට සුබ පැතූ සියලූ දෙනා වෙනුවෙන් එෂාන් සිය කෘතඥතාව පළකර සිටියි. සිය අධ්‍යයන කටයුතු අවසන් කිරීමෙන් පසුව දේශීය කි‍්‍රකට් දිවියට පය තැබීම ඔහුගේ එකම අරමුණයි. එය ජාතික කණ්ඩායම කරා පැමිණෙන ගමනේ පළමු පියවර වශයෙන් සටහන් වනු ඇත.