රනිල්ගේ මන්ත්‍රීධූරයට අභියෝගයක් වූ ‘ලේක් හවුස් ප්‍රින්ටර්ස්‘

    December, 12, 2018

    රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අභියෝගයට ලක් කරමින් ඊයේ (11) දිනයේ දී අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් විය. එහි දී ඉල්ලා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීමේ කෝ වොරන්ටෝ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසයි.

    මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබූ යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානයේ සම සභාපතිනි ශර්මාලා ගෝනවල මහත්මිය, “රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීතුමා, කිසිම තැනක සඳහනක් නොකර, රටේ ප්‍රසිද්ධ ආයතනයක අධ්‍යක්ෂ ධූරයක් දරමින්, කොටස් හොබවමින්, රජයේ ප්‍රසිද්ධ ආයතනත් සමඟ ගිවිසුම්ගත වෙලා, ඒ හරහා මූල්‍යමය වාසි ලබා ගෙන තියෙනවා. එම නිසා එතුමාගේ මන්ත්‍රීධූරය අපි අභියෝගයට ලක්කරනවා. ඒ වගේම පාර්ලිමේන්තුව තුළ එතුමාට ඡන්දය පාවිච්චි කිරීමට තියෙන අයිතියත් අපි අපියෝගයට ලක් කරනවා“, යනුවෙන් මෙහිදී කියා සිටියාය.

    මේ පිළිබඳ ප්‍රවෘත්තිය පහතින් නැරඹිය හැකිය.

    රනිල් වික්‍රමසිංහ මහතාට මෙම චෝදනාව එල්ල වූයේ ඔහු ලේක් හවුස් ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස් පීඑල්සී හි කොටස්කරුවෙකු වීම කරණ කොට ගෙනය. ලේක් හවුස් ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස් පීඑල්සී යනු කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමකි. මෙය සමස්තයක් වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ මාමා වන රන්ජිත් විජේවර්ධන පවුලට අයත් සමාගමකි. එය 1965 වසරේ දී සංස්ථාපනය කරන ලද්දකි.

    සමාගමේ සභාපති වන රන්ජිත් විජේවර්ධන එහි එහි ප්‍රධාන කොටස්කරුවායි. එසේම රන්ජිත් විජේවර්ධන මහතාගේ පුත් රුවන් විජේවර්ධන මෙම සමාගමේ දෙවැනියට විශාලතම කොටස් හිමියා වේ. පිළිවෙලින් මොවුන් දෙදෙනා සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 35.81% ක් හා 32.67% ක් වශයෙන් හිමිකම් කියනු ලබයි.

    2018 සැප්තැම්බර් 30 න් අවසන් කාර්තුවේ දී ප්‍රකාශයට පත්කරන ලද අතුරු මූල්‍ය ප්‍රකාශනය අනුව රනිල් වික්‍රමසිංහ, ලේක් හවුස් ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස් පීඑල්සී හි 8 වැනියාට විශාලතම කොටස් හිමියා වේ. ඔහු මෙම සමාගමේ කොටස් 38,964 කට හිමිකම් කියනු ලබන අතර එය සමාගමේ සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 1.33% කි. සමාගමේ ප්‍රමුඛ කොටස්කරුවන් පිළිබඳ ලේඛනය පහතින් දැක්වේ.

    ලේක් හවුස් ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වශයෙන් කටයුතු කළ රුවන් විජේවර්ධන මහතා 2017 මාර්තු මාසයේ දී අදාළ තනතුරින් ඉල්ලා අස්වී තිබේ.

    ලේක් හවුස් ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස් පීඑල්සී හි වත්මන් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පහත පරිදි වේ.

    LH වැවිලි (පුද්) සමාගම හා ස්ටැම්ෆෝඩ් ලේක් (පුද්) සමාගම, ලේක් හවුස් ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස් පීඑල්සී හි පරිපාලිත සමාගම් වේ. ලේක් හවුස් ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස් පීඑල්සී හි ප්‍රධානතම ව්‍යාපාරික කටයුත්ත වනුයේ චෙක්පත් මුද්‍රණයයි. රාජ්‍ය හා පුද්ගලික වාණිජ බැංකු ගණනාවකටම අයත් චෙක්පත් මුද්‍රණය කරනු ලබන්නේ මෙම සමාගමයි. එසේ මුද්‍රණය කරන ලද චෙක්පත්වල ආදර්ශ කිහිපයක් පහතින් දැක්වේ. සාමාන්‍යයෙන් චෙක්පතක මුද්‍රණකරුවා කවුරුන්ද යන වග එහි වම්පසින් කුඩාවට සඳහන් වේ.

     

     

    2018 සැප්තැම්බර් 30 න් අවසන් කාර්තුවේ දී ලේක් හවුස් ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස් පීඑල්සී ලබා ඇති බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් මිලියන 5.24 කි. මෙය 2017 සැප්තැම්බර් කාර්තුව හා සැසඳීමේ දී 31.17% ක ලාභයේ අඩු වීමක් බව මූල්‍ය ප්‍රකාශනවල සඳහන් වේ.

    2018 සැප්තැම්බර් 10 වන දින සමාගම විසින් එක් කොටසක් සඳහා රු. 1.50 බැගින් වන පරිදි 2017/18 මූල්‍ය වර්ෂය වෙනුවෙන් පළමු හා අවසාන ලාභාංශයක් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතාගේ කොටස් 38,964 ක හිමිකාරීත්වය අනුව රුපියල් 58,446 ක ලාභාංශ ආදායමකට ඔහු හිමිකම් කියනු ඇත.

    (මෙහි දැක්වෙන චෙක්පත්වල ආදර්ශ, අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී.)