රාගම මෙල්ස්ටා රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු කොවිඩ්-19 ආසාධිත බව තහවුරු වීමෙන් පසු මෙහෙයුම් කටයුතුවල වෙනසක්

    July, 14, 2020

    රාගම මෙල්ස්ටා රෝහලෙහි මෑතකදී සේවය ආරම්භ කළ කාර්ය මණ්ඩල සාමාජිකයෙක් හට කොවිඞ් - 19 වෛරසය ආසාධිත වී ඇති බව තහවුරු වීමෙන් පසුව මේ වන විට රජයේ රෝහලක ප‍්‍රතිකාර ලබමින් පසුවෙයි. මතුව ඇති තත්ත්වය යටතේ ගම්පහ දිස්ත‍්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදේශනය යටතේ නිසි ආරක්ෂක පියවර ගැනීමට රාගම මෙල්ස්ටා රෝහල කටයුතු කර තිබේ.

    මෙලෙස කොරෝනා වෛරසය ආසාධිත වූ කාර්ය මණ්ඩල සාමාජිකයා 2020 ජූලි මස 01 වැනි දින රාගම මෙල්ස්ටා රෝහලේ සේවය ආරම්භ කිරීමට පෙර (ඒ වකවානුවේ ඔහු වෙනත් පෞද්ගලික රෝහලක සේවය කර ඇත) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම මත කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දේශන පැවත්වීම සඳහා එහි ගොස් තිබිණි. කන්දකාඩුහි කොරොනා වෛරසය පැතිරීම පිළිබඳව දැනගත් වහාම ඔහු විසින් ස්වේච්ඡාවෙන්ම කීර්තිමත් පෞද්ගලික සෞඛ්‍ය ආයතනයකට ගොස් PCR පරීක්ෂණය සිදු කරගෙන ඇති අතර එහි ප‍්‍රථිඵලය වූයේ ඔහුට වෛරසය ආසාදනය වී නොමැති බවයි. එයින් පසුව ඔහු කොළඹින් පිටත නිරෝධායනයට ලක් වීම සඳහා ලියාපදිංචි වී ඇති අතර ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූයේ එහිදී සිදු කෙරුණු PCR පරීක්ෂණයෙන් පසුවය. එයින් පසුව ඔහුව රජයේ රෝහලකට ඇතුළත් කෙරුණු අතර දැනට ඔහු එහි ප‍්‍රතිකාර ලබමින් පසු වේ. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවද වාර්තා වේ.

    මතුව ඇති තත්ත්වය සැළකිල්ලට ගනිමින් වගකීම් සහගතව, ඉක්මනින් ක‍්‍රියාත්මක වූ රාගම මෙල්ස්ටා රෝහලේ කළමනාකාරීත්වය සිය කාර්ය මණ්ඩලයේ, රෝගීන්ගේ සහ සේවාලාභීන්ගේ ආරක්ෂාව සහ යහපැවත්ම තහවුරු කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු යොදා ඇත.

    මේ පිළිබඳව අදහස් දක්වමින් රාගම මෙල්ස්ටා රෝහලේ විධායක අධ්‍යක්ෂක වෛද්‍ය ඉරෙයිවන් ත්‍යාගරාජා මහතා පැවසුවේ ”මෙවන් අවස්ථාවලදී සිදු විය යුතු පරිද්දෙන්ම ඉක්මනින්, ප‍්‍රවේශමෙන් සහ අවංකබවින් යුතුව ක‍්‍රියාත්මක වීමට රාගම මෙල්ස්ටා රෝහල කටයුතු කර තිබෙනවා. අපේ සේවාලාභීන්ගේ, රෝගීන්ගේ සහ කාර්යමණ්ඩලයේ ආරක්ෂාව අපේ පළමු වගකීමයි. ඒ නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂක නියෝජිතයින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජිතයින්ගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සියලු පියවර ගෙන, නියමිත ප්‍රොටෝකෝලයන් ස්ථාපිත කිරීමට අපි කටයුතු යොදා තිබෙනවා. ආසාධිත කාර්ය මණ්ඩල සාමාජිකයාගේ පළමු පෙළ ආශ‍්‍රිතයින් වන කාර්ය මණ්ඩල සාමාජිකයින් හඳුනාගෙන ඔවුන්ව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විධිවිධාන අනුව නිරෝධායනය කිරීමට කටයුතු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අප විසින් ගත් සියලු ක‍්‍රියාමාර්ග අදාළ රාජ්‍ය ආයතනවල උපදෙස්, අධීක්ෂණය සහ අනුමැතිය යටතේ සිදු කර තිබෙනවා. රාගම අවට අපේ සේවාලාභී්න්ට මෙල්ස්ටා රෝහල සම්පූර්ණයෙන්ම ආරක්ෂිතබව සහ පෙර පරිදිම ක‍්‍රියාත්මක බව දැනුම් දී සිටීමට කැමතියි”.

    රාගම මෙල්ස්ටා රෝහල අදාළ රාජ්‍ය ආයතනවල අනුමැතිය යටතේ පෙර පරිදිම සිය මෙහෙයුම් කටයුතු පවත්වා ගෙන යන අතර මේ සම්බන්ධයෙන් ඉදිරියේදීත් ජනතාවට තොරතුරු සැපයීමට සූදානමින් සිටී.