රාජ්‍ය ආයතන විස්සක පාඩුව රුපියල් මිලියන විසිහයදහස ඉක්මවයි – මංගල

    June, 12, 2019

    පසුගිය 2018 වසරේ දී රාජ්‍ය ආයතන 54ක් අතුරින් ආයතන 20ක් පමණ වාර්තා කර ඇති අලාභය රුපියල් මිලියන 26,000 ඉක්මවනු ලබන බවත්, ශ්‍රීලංකන් එයාර්ලයින්ස් වැනි සමාගම් තවදුරටත් රජයට දරාගන්න පුළුවන්ද යන්න පිළිබඳව, රටක් හැටියට සංවාද කළ යුතු කාලය පැමිණ ඇති බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. පසුගිය දා මුදල් අමාත්‍යාංශයේ දී පැවති රජය විසින් තෝරාගත් රජය සතු ව්‍යාපාර 10 ක් සමඟ සාමූහික අභිලාෂ ප්‍රකාශ අත්සන් තැබීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මෙසේ කියා සිටියේය.

    පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය නිසා ස්ථාවර වෙමින් පැවති ආර්ථිකය දැඩි පීඩාවකට, අභියෝගයකට ලක් වුණා. මේ සියලු අභියෝග මැද බලාපොරොත්තු වෙන ආර්ථික අරමුණු ඉටුකළ හැකි බව ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි සංවිධාන දැනටමත් කියලා තියෙනවා. ආර්ථික වර්ධන වේගය මේ තර්ජන නිසා කිසිම ලෙසකින් වෙනස් වෙලා නැහැ. සංචාරක අංශය යම් පසුබෑමතට ලක්වෙලා තිබුණත් අපි විශ්වාස කරනවා මේ වසර අවසන් වීමට ප්‍රථම යථා තත්ත්වයට ගෙන ඒමට පුළුවන් වෙයි කියලා.

    රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන රජය සතු ව්‍යවසායයන්ගෙන් රජය නව ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යමින් තිබෙනවා. දැනට රජය සතු ව්‍යාපාර 422 ක් අතරින් ව්‍යාපාර 54 ක් ක්‍රමෝපායිකව වැදගත් ව්‍යවසායන් ලෙස හඳුනාගෙන තිබෙනවා. මුදල් අමාත්‍යාංශය යටතේ තිබෙන රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ ක්‍රමෝපායිකව වැදගත්වන රාජ්‍ය ආයතන 10ක් ව්‍යාපාරික වශයෙන් ඵලදායී තත්ත්වයට පරිවර්තනය කිරීමේ මූලික කටයුතු අපි ආරම්භ කරනවා.

    මගේ පෞද්ගලික විශ්වාසය අනුව නම් අපි නියඟ ගැන කතා කළා. නියඟයෙන් ඇති වූ පසුබෑම්, ගංවතුරෙන් ඇති වූ පසුබෑම්, දේශපාලන අස්ථාවරභාවයෙන් ඇති වූ පසුබෑම් වගේම දිගින් දිගටම මේ ආයතනවලින් ඇතිවෙච්ච පසුබෑම් ගැන මිල ගණන් කිරීමට තරම් අමාරුයි. ඒ නිසා ප්‍රමාද වී හෝ මේ තත්ත්වයෙන් ගොඩඒමට මෙවැනි කටයුත්තක් කිරීම පිළිබඳ විශේෂයෙන්ම සතුටු වෙන්න ඕනේ.

    මහජනතාව අතර රාජ්‍ය හිමිකාරීත්වය තිබෙන වානිජ ව්‍යාපාරික ආයතන පිළිබඳ යම් නුරුස්නා හැඟීමක් ඇතිවෙලා තියෙනවා. සමහර ආයතන දිගින් දිගටම මහජන මුදල් පාඩු කරන තත්ත්වයක් හමුවේ ඒවා මහජන මුදලින් නඩත්තු කරන්නේ ඇයිදැයි කියන ප්‍රශ්නයක් අපෙන් අහනවා. මම පෞද්ගලිකව හිතනවා, රටේ සංවර්ධනයට වගේම සුභසාධනයට යොදා ගන්න පුළුවන් විශාල මුදලක් ඇයි මේ ආයතන කිහිපයක් වෙනුවෙනු නාස්ති කරන්නේ ඇයි කියලා.
    සමහර ආයතන විශාල මහජන සේවාවක් ඉටුකරන බව, අත්‍යාවශ්‍ය සේවාවන් සපයන බව ඇත්ත. නමුත් ආදායම් හා වියදම් අතර පරතරය බැලුවොත් අති විශාල මුදලක් පාඩුවෙන සංස්ථා සහ සමාගම් තියෙනවා.

    විශේෂයෙන්ම බලශක්ති, ගුවන්සේවා, වාණිජ වෙළෙඳාම් වගේ අංශ, මහාභාණ්ඩාගාරයට වාර්ෂිකව විශාල බරක් දරන්න සිද්ධ වෙලා තියෙනවා. ශ්‍රීලංකන් එයාර්ලයින් වගේ සමාගමක් රජයට දරාගන්න පුළුවන්ද කියලත් අපි රටක් හැටියට සංවාද කළ යුතු කාලයක් ඇවිල්ලා තියෙනවා. 2018 වසරේ රාජ්‍ය ආයතන 54 ක් අතුරින් ආයතන 20ක පමණ පාඩුව රුපියල් මිලියන 26,000 ක් ඉක්මවා ගොස් තිබෙනවා. මෙය විශාල මුදලක්.

    ජනතාවගේ සුභසාධනය, යටිතල පහසුකම් වැනි අංශවලට ආයෝජනය කළ හැකි මුදල්. සමහර පාඩු ලබන ආයතන නඩත්තු කරන්නට රජයට වියදම් කරන්න වෙලා තියෙනවා. මෙවැනි බරක් දිගින් දිගටම දරා ගැනීමට කිසිම රජයකට හැකියාවක් නැහැ. ඒ නිසා රාජ්‍ය වාණිජ ආයතන පාඩු අවම කරගනිමින් මහජන මුදල් ඉතිරි කරමින් වඩාත් කාර්යක්ෂම සහ මහජන හිතකාමී සේවයක් සලසන ආකාරයෙන් ප්‍රතිසංස්කරණ ඇතිකර ගැනීමට අපි උත්සාහ දරනවා.