රාජ් රාජරත්නම් සිරගෙදරින් පිටවෙයි

September, 9, 2019

එක්සත් ජනපද ඉතිහාසයේ විශාලතම හෙජ් අරමුදල් වංචාවට වැරදිකරුවී සිර දඬුවම් විඳි රාජ් රාජරත්නම් මීට සති 6කට පමණ පෙර සිර ගෙදරින් නික්ම ගොස් ඇති බව බ්ලූම්බර්ග් ප්‍රවෘත්ති සේවය අනාවරණය කර සිටී. ඔහු මෙලෙස පිටව ගොස් ඇත්තේ සිය දඬුවම් කාලය අවසන් වීමට තවත් වසර 2ක් ඉතිරිව තිබියදීය.

සුරැකුම්පත් විනිමය නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත 2011 වසරේ දී වරදකරු වීමෙන් අනතුරුව වසර 11 ක සිරදඬුවමක් ඔහුට නියම වූ අතර බොස්ටන් නගරයෙන් පිටත පිහිටි ෆෙඩරල් වෛද්‍ය මධ්‍යස්ථානයක් වූ බන්ධනාගාරයක ඔහුට කල්ගෙවීමට සිදුවිය.

කෙසේ වෙතත් එක්සත් ජනපද නව නීති ප්‍රකාරව වයස අවුරුදු 60 ඉක්මවූ හෝ දීර්ඝකාලීන රෝගාබාධවලින් පෙළෙන සිරකරුවන් හට නියම කරන ලද දඬුවමෙහි අවසාන කාලය නිවාස අඩස්සියට පත්කරලීමේ න්‍යාය අනුව රාජ් රාජරත්නම් මෙලෙස සිරගෙදරින් පිටව ගොස් තිබේ.

ඒ අනුව ඔහුගේ සිර දඬුවමෙහි ඉතිරි කාලය මැන්හැටන් හි නැගෙනහිර පෙදෙසේ නිහඬ කොටසක මහල් නිවාසයකට කොටුව ගෙවීමට සිදුවනු ඇත. නමුත් දිවාකාලයේ දී සිය වැඩකටයුතු සඳහා පිටතට යාමට ඔහුට නිදහස ඇත.

2021 ජූලි 04 දින ඔහුගේ සිරදඬුවම අවසන් වීමට නියමිතය.

2011 වසරේ දී අභ්‍යන්තර වෙළෙඳාම චෝදනාව යටතේ වැරදිකරු වූ ඔහු එවකට සිය Galleon Group LLC අරමුදල හරහා එක්සත් ජනපද ඩොලර් බිලියන 7ක් ඉක්මවූ ආයෝජන අරමුදලක් හසුරුවා තිබේ.

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රාජ් රාජරත්නම්, ෆෝබ්ස් සඟරාවට අනුව 2009 වසරේ ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ 559 වැනි ස්ථානයෙහි පසුවිය. එසේම 2000 මුල් භාගයේ දී ඔහුගේ Galleon අරමුදල ලොව 10 වැනියට විශාලතම හෙජ් අරමුදල ලෙසින් සැලකිනි.

ඡායාරූපය - බ්ලූම්බර්ග් ප්‍රවෘත්ති සේවය විසින් 2011 වසරේ දී ගනු ලැබූවකි.