රුසියාවේ ප්‍රමුඛ ධනවතෙකු වන අන්ද්‍රේ මෙල්නිචෙන්කෝ  කොළඹ වරාය නගරයේ සංචාරයක

    March, 18, 2021

    ලෝක මට්ටමේ ධනවත් ව්‍යාපාරිකයෙකු ලෙස සැලකෙන රුසියානු ජාතික අන්ද්‍රේ මෙල්නිචෙන්කෝ මහතා පසුගිය බදාදා (මාර්තු 17) දිනයේ කොළඹ වරාය නගරයේ සංචාරයක නිරත විය. ඔහු සමඟ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය දේශපාලනඥයෙකු සහ යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ නිරන්ජන් දේව ආදිත්‍ය මහතා ද එම අවස්ථාවට එක් විය.

    ස්වෝත්සාහයෙන් දියුණු වූ ව්‍යාපාරිකයෙකු ලෙස සැලකෙන මෙල්නිචෙන්කෝ, ස්විට්සර්ලන්තය පදනම් කරගත් දැවැන්ත පොහොර සමාගමක් වන EuroChem සමූහ ව්‍යාපාරයේ සහ රුසියාව පදනම් කරගත් බලශක්ති සමාගමක් වන SUEK හි මහා පරිමාණ ආයෝජනයන් සිදුකර තිබේ.

    කොළඹ වරාය නගර ව්‍යාපෘතිය වෙත පැමිණි මෙල්නිචෙන්කෝ මහතා ඇතුළු පිරිස එම සමාගමේ සහකාර කළමනාකාර අධ්‍යක්ෂවරුන් වන Yue Yeqing සහ තුල්සි අලුවිහාරේ යන මහත්වරුන් සහ අධ්‍යක්ෂ (විකුණුම් හා අලෙවි) යමුනා ජයරත්න මහත්මිය විසින් සාදරයෙන් පිළිගන්නා ලදි.

    කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, එහි වත්මන් ඉදිකිරීම් කටයුතු සහ අනාගත සංවර්ධන සැලසුම් ආදිය සම්බන්ධයෙන් මෙහිදී මෙල්නිචෙන්කෝ මහතා ඇතුළු පිරිසට කරුණු විස්තර කිරීමට එම ව්‍යාපෘතියේ විකුණුම් හා ආයෝජක සම්බන්ධතා පිළිබඳ මෙරට කළමනාකරු රධික ඇල්ලේපොළ මහතා කටයුතු කළේය.

    ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පැහැදීමෙන් යුතුව අදහස් දැක්වූ මෙල්නිචෙන්කෝ මහතා, මේ වනවිට ඉදිකරමින් පවතින වරාය නගරයේ ක්‍රමෝපායික සැලසුම්කරණය පිළිබඳව සිය ප්‍රසාදය පළකළේ ය.

    ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල, අධ්‍යක්ෂ ජෙනරාල් පසන් වනිගසේකර සහ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන රාජන් බ්‍රිටෝ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්වූහ.

    මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා කොළඹ වරාය නගරය ලොව ප්‍රමුඛ පෙළේ ආයෝජකයන් කිහිප දෙනෙකුගේ අවධානය දිනාගැනීමට සමත් වූ අතර, ඒ අනුව ශ්‍රී ලංකාව නැවත වරක් අනාගත ආයෝජනයන් සඳහා විශ්වාසනීය ස්ථානයක් ලෙස ජාත්‍යන්තර පිළිගැනීමට ලක්වෙමින් පවතින බව පෙනී යයි.

    ශ්‍රී ලංකා රජය නුදුරේදී කොළඹ වරාය නගර ව්‍යාපෘතියට බලපැවැත්වෙන විශේෂ ආර්ථික කලාප නීතිය හඳුන්වා දීමට කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, එම පියවර මගින් ශ්‍රී ලංකාවට වැඩි වැඩියෙන් සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමට හැකිවනු ඇතැයි විශ්වාසය පළ කෙරේ.