රු. බිලියන 16.5 ක ණයකර තනි දිනක දී විකිණෙයි

    April, 17, 2018

    පසුගිය අප්‍රේල් 11 වන දින විවෘත කෙරුණු ණයකර නිකුතු තුනක් ආරම්භක දිනයේ දී ඇති වූ අධිදායකත්වයන් හේතුවෙන්  එදිනම වසා දමන ලදී.

    පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සහ ශ්‍රී ලංකා ටෙලිකොම් යන සමාගම් මෙලෙස ණයකර නිකුතු සිදුකරන ලද සමාගම් වේ.

    මෙහිදී පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී විසින් එකක් රු. 100 ක මුහුණත වටිනාකමකින් යුතු ලැයිස්තුගත, ශ්‍රේණිගත, අනාරක්ෂිත, නිදහස් කළ හැකි ණයකර මිලියන 40 ක් මූලික අදියරේ දී නිකුත් කිරීමට පියවර ගැනුණු අතර මෙහිදී අධිදායකත්වයක් ඇතිවුවහොත් තවත් ණයකර මිලියන 20 ක් නිකුත් කිරීමට සැලසුම් කෙරුණි.

    මේ අනුව නිකුත් කිරීමට නියමිතව තිබූ සම්පූර්ණ ණයකර ප්‍රමාණය මිලියන 60 ක් වන අතර ඒවායේ වටිනාකම රුපියල් බිලියන 6 කි.

    මේ අතර නේෂන්ස් ට්‍රස්ට් බැංකු සමාගම ද රුපියල් 100 බැගින් වූ ණයකර මිලියන 35 ක් නිකුත් කිරීමට පියවර ගෙන තිබුණු අතර එහිදී රුපියල් බිලියන 3.5 ක් රැස්කර ගැනීමට සැලසුම් කෙරිණි.

    මීට අමතරව අප්‍රේල් 11 දින විවෘත කෙරුණු අනෙක් ණයකර නිකුතුව වූයේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ණයකර නිකුතුවයි. අදියර තුනක් යටතේ නිකුත් කිරීමට සැලසුම් කර තිබූ මෙම නිකුතුව සඳහා පිළිවෙලින් රුපියල් මිලියන 50, 10 සහ 10 බැගින් එක් එක් අදියරයන් සඳහා ඇතිවන අධිදායකත්වය අනුව මිලියන 70 ක ණයකර ප්‍රමාණයක් ඒ සඳහා ඉදිරිපත්ව තිබුණි.

    මේ අනුව එක් එක් සමාගම විසින් නිකුත් කිරීමට යෝජිත වූ සමස්ත ණයකර වටිනාකම් පිළිවෙලින් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් රු.බි. 6 ක්, නේෂන්ස් ට්‍රස්ට් රු.බි. 3.5 ක් හා ශ්‍රී ලංකා ටෙලිකොම් රු.බි. 7 ක් වශයෙන් වේ.

    මෙම ණයකර නිකුතු 3 හි මුළු වටිනාකම රුපියල් බිලියන 16.5 ක් වන අතර ඒවා විවෘත කෙරුණු 2018 අප්‍රේල් 11 දින පැවති අධිදායකත්වය හේතුවෙන් ආරම්භක දිනයේ දීම අදාළ නිකුතු වසා දැමීමට ඒම නිකුතුවල කළමනාකරුවන් පියවර ගන්නා ලදී.