රු. බිලියන 39.5ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද. රු. බිලියන 110ක බැඳුම්කර වෙන්දේසියක් හෙට

    July, 29, 2020

    ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් රු. බිලියන 39.5 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ  වෙන්දේසියක් අද (29) දින කැඳවීමට කටයුතු යොදා ඇත. මෙහිදී දින 91, දින 182 හා දින 364 යන කල්පිරීමේ කාලයන්ගෙන් යුතු බිල්පත් පිළිවෙලින් රු.බි. 9 ක්, රු.බි. 6 ක් හා රු.බි. 24.5 ක් යන ආකාරයෙන් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

    මීට අමතරව හෙට (30) දිනයේ දී රු. බිලියන 110 ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් කිරීමට ද රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මෙහිදී කල්පිරීමේ කාල තුනක් යටතේ මෙම වෙන්දේසිය පවත්වනු ලබන අතර එහිදී වසර 2 මාස 3 ක කාලයක් වෙනුවෙන් රු. බිලියන 45ක බැඳුම්කර වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය. තවද වසර 5 මාස 6 පරිණත කාලයෙන් යුතු රු. බිලියන 35ක වටිනාකමකින් යුතු බැඳුම්කර සහ වසර 7 කින් කල්පිරෙන රු. බිලියන 30 ක වටිනාකමකින් යුතු බැඳුම්කර, වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරේ.

    මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ වෙළෙඳපොළ තත්ත්වයන් මත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක් එක් කාණ්ඩය යටතේ වෙන්දේසියට ඉදිරිපත් කළ ප්‍රමාණයට නොවැඩි ඕනෑම ප්‍රමාණයක් පිළිගනු ලැබිය හැකි බවයි.