ලාභාංශ ගෙවිමේ දී චෙක්පත් වෙනුවට ඉලෙක්ට්‍රොනික ක්‍රම යොදා ගන්නැයි මහ බැංකු අධිපති ඉල්ලයි

    November, 27, 2018

    කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගම් විසින් සිය කොටස් හිමියන් වෙත ලාභාංශ ගෙවීමේ දී චෙක්පත් භාවිතය නවතා දමා ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් ගෙවීමට ඇති හැකියාව පිළිබඳව අවධානය යොමුකරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කොළඹ කොටස් වෙළෙඳපොළන් ඉල්ලා සිටී.

    අද (27) උදෑසන කොළඹ දී පැවති මධ්‍යම තැන්පතුකරුවන්ගේ ආසියා-පැසිෆික් සමුළුවේ දී මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසුවේ, භෞතික වශයෙන් චෙක්පත් භාවිතය අවම කරලීම සඳහා පත්කරන ලද කමිටුව විසින්, ලැයිස්තුගත සමාගම් සිය ලාභාංශ ගෙවීමේ දී තවමත් විශාල වශයෙන් චෙක්පත් භාවිතා කරනු ලබන බව මෙහිදී සොයා ගෙන ඇති බවයි. බොහෝ අවස්ථාවල දී එසේ චෙක්පත් යොදා ගනු ලබනුයේ ඉතා කුඩා වටිනාකමක් ගෙවීමට බව ද මහ බැංකු අධිපතිවරයා මෙහිදී පැවසීය.