ලෙඩ රෝග රැසකට දිව ඔසුවක්වන මොනවද මේ කුරුඳු?

July, 31, 2020

'කුරුඳු' කියන නම ඇහුවමත් ඒ සුවඳ, රස දැනෙන ගතියක් එනවා. ඒ තරම්ම අපිට කුරුඳු රස, සුවඳ හුරුයි. අපේ රටේ විතරක් නෙවෙයි, ලෝකේ බොහෝ රටවලත් කෑම රසකර ගන්න පාවිච්චි කරන ප්‍රධාන ම ස්වභාවික රසකාරකයක් තමයි කුරුඳු. නමුත්, ලෝකේ 'නියම' කුරුඳු අවශ්‍යතාවයෙන් අති බහුතරයක් සපුරන්නේ ලංකාවෙන් බව කිව්වොත් ඔබ පුදුම වෙයි. ඒ වගේම ලෝකයේ ගුණාත්මක බවින් හොඳම කුරුඳු හැදෙන්නේත් ලංකාවේ. කලකදී අපේ රටට විශාල අපනයන ආදායමක් ගෙනත් දුන්නු මේ ශාඛය ගැන ඔබ නොදන්නා අපූරු කරුණු කිහිපයක් ඔබට කියන්නයි මේ සූදානම.

කුරුඳු පුරාණය

කුරුඳුවලට ඉංග්‍රීසියෙන් කියන්නේ Cinnamon කියලනේ. ඒ වචනය ග්‍රීක භාෂාවෙන් උපන් වචනයක්. ග්‍රීක බසින් ඒ වචනයේ අර්ථය 'සුවඳ දර' කියන එකයි. සම්ප්‍රදායික ආසියානු වෙද ක්‍රම තුළ  කුරුඳු ඉතා ඈත අතීතයේ සිටම බොහෝ විට අනෙකුත් ඖෂධ සමඟ මිශ්‍ර කොට භාවිත කොට තිබෙනවා. කුරුඳු ආහාරවලට එකතු කිරීම ආරම්භ වී තිබෙන්නේ ඊජිප්තුවෙන් සහ චීනයෙන්.

තවද, පෙරදිග ඔසු වෙදකම තුළ කුරුඳු පොතු සෙම්ප්‍රතිශ්‍යාව, රුධිර වාහිනී ආශ්‍රිත රෝග සහ නිධන්ගත ආමාශගත රෝග සහ ස්ත්‍රී ප්‍රජනන අවයව ආශ්‍රිත සංකුලතා සඳහා භාවිත වී තිබෙනවා. එමෙන්ම ඉතා ඈත අතීතයේ සිටම උගුර කැසීම, කැස්ස, අජීර්ණ ආදී රෝග රැසක් සඳහා ද කුරුඳු භාවිත කොට තිබෙනවා. මෙම ක්‍රමවේද දහනමවන සියවසයේදී ඇමරිකානු උද්ධාරක වෛද්‍යවරුන් මූලික වශයෙන් ආහාර දිරවීම සඳහා උත්තේජකයක් ලෙස යොදාගෙන ඇති බවයි පොත-පතේ සඳහන් වන්නේ. එමෙන්ම ඇමරිකානු වෛද්‍යවරුන් වෙනත් ඖෂධවල බලපෑම නිවැරදි කිරීමට මෙන්ම රසය වැඩිදියුණු කිරීම සඳහා ද කුරුඳු යොදාගෙන තිබෙනවා.

සිලෝන් කුරුඳු දිව්‍ය ඖෂධයක්

කුරුඳුවල තියෙන ගුණ නිකම්ම කටවහරෙන් එන දෙයක්ම නොවෙයි. කුරුඳුවලින් තියෙන බලපෑම විද්‍යාත්මකව තහවුරු කර ගත් දැනුමක්. ලංකාවේත්, මීයන් යොදාගෙන කරපු පරීක්ෂණයකදී තහවුරු වුණා, රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය, ආහාර ලබා ගැනීමේ ප්‍රමාණය වගේම අහිතකර LDL කොලෙස්ටරෝල් ද අඩු කිරීමට කුරුඳු යුෂවලට හැකි බව. විවිධ ක්‍රම මඟින් රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය අඩු කිරීමට සිලෝන් කුරුඳුවලට හැකි බව තවත් පර්යේෂණ ගණනාවකින් තහවුරු වී තිබෙනවා. ඒ නිසා කුරුඳු කියන්නේ දියවැඩියාව පාලනය කර ගන්න කදිම ඔසුවක්.

වයඹ විශ්වවිද්‍යාලයේදී සිදු කරපු පර්යේෂණයකදීත් හරිම අපූරු සොයාගැනීමක් සිද්ධ වුණා. යම් තරමකට අධි රුධිර පීඩනය තිබුණු කිහිප දෙනෙකුට කුරුඳු ග්‍රෑම් 3 බැගින් උණු වතුරේ තම්බා පානය කරන්න ලබා දී තිබෙනවා. මේ කණ්ඩායම සති 8 ක් මේ විදියට කුරුඳු පානය කිරීමෙන් පසුව ඔවුන්ගේ රුධිර පීඩනය අඩු වී ඇති බව තහවුරු වුණා. ඊට අමතරව, ශරීරයේ බර, මේදය, රුධිරයේ ග්ලූකෝස්, ලිපිඩ ද අඩු වී ඇති බව හඳුනා ගන්න හැකි වුණා.

සිලෝන් කුරුඳු විශේෂයි

කුරුඳුවල ගුණය පිළිබඳ සැලකීමේදී සිලෝන් කුරුඳුවල තිබෙන වටිනාකම වගේම, ලෝකයේ අනෙකුත් කුරුඳු විශේෂ පිළිබඳ සැලකීමේදීත් සිලෝන් කුරුඳු බෙහෙවින් සුවිශේෂීයි. විශේෂම වෙනස තමයි ලංකාවේ කුරුඳු අනික් රටවල කුරුඳුවලට වඩා මෘදු වීම. ලංකාවේ කුරුඳු චීනයේ, ඉන්දුනීසියාවේ සහ වියට්නාමයේ කුරුඳුවලට වඩා පැණි රසයෙන් වැඩියි; පිරිසිදුයි. ඒ නිසා ලංකාවේ කුරුඳු අතුරුපස රස කරන්නත් ලොව පුරා යොදා ගැනෙනවා. මේ කරුණු නිසාම ලෝක වෙළඳපොළේ අපේ කුරුඳු මිලෙන් අධිකයි.

ඉතින් අපි අද කතා කළේ, අතීතයේ අපේ රට විශාල විදේශ ආදායමක් හිමිකර දුන්නු කුරුඳුවල ගුණ සහ ඒවායේ ඉතිහාසය ගැනයි. එදා ෆෝල්ක් ආණ්ඩුකාරයා කොළඹ සැතපුම් 12 ක භූමි ප්‍රමාණයක කුරුඳු වගා කරමින් අපේ රටේ කුරුඳු වගාව වෙනස් මගකට ගෙන ආවා. අද 'කුරුඳුවත්ත', මරදාන, බුලර්ස් පාර සහ හැව්ලොක් නගරය ඒ කුරුඳු වගාව ව්‍යාප්තව තිබූ ප්‍රදේශ. අදවෙන කොට ඒ ප්‍රදේශවල එකම කුරුඳු ගහක්වත් දකින්න නැති එකෙන්ම අපේ රටේ සම්පතකට අත්වී තිබෙන ඉරණම මනාව පෙන්නුම් කරනවා.

- හසිත කැකුලාවල විසිනි