anchor add
anchor add

ලෝක පරිසර දිනය සමරමින් කොමර්ෂල් බැංකුව වනජීවී සහ ස්වභාව ධර්මය සුරැකීමේ සමාජයේ වන වගා ව්‍යාපෘතියට සහාය දෙයි

June, 9, 2017

සිංහරාජ මායිමේ පිහිටි දියකොත කන්දේ කොටසක වටිනා පැලෑටි වැවීම සඳහා බැංකුවෙන් වසර තුනක ප‍්‍රතිපාදන

 

මෙරට ප‍්‍රමුඛතම වැසි වනාන්තරයක නැවත වන වගාව සිදුකිරීමේ ව්‍යාපෘතියක් සඳහා කොමර්ෂල් බැංකුව වනජීවී සහ ස්වභාව ධර්මය සුරැකීමේ සමාජය (WNPS) සමග අත්වැල් බැඳගෙන තිබෙන අතර මෙයට අදාළ ගිවිසුම ලෝක පරිසර දිනය යෙදුණු ජුනි 05 වනදා දෙපාර්ශවය විසින් අත්සන් කරන ලදී.

 

ලෝක උරුමයක් වන  සිංහරාජ වැසි වනාන්තරයට මායිම් වූ දික්හේන ගම්මානයේ පිහිටි දියකොත කන්දේ ‘D’ කළාපය යනුවෙන් නම්කර තිබෙන හෙක්ටයාර භාගයක ඉඩමේ නැවත වන වගාව සිදුකිරීම සඳහා අවුරුදු  තුනක කාලයක් සඳහා අරමුදල් ලබාදීමට බැංකුව ඉදිරිපත් වී තිබේ.

 

ශ‍්‍රී ලංකාවට ආවේණික රුක් ප‍්‍රභේද 3500 ක් මෙම ව්‍යාපෘතිය යටතේ වගාකළ යුතුව ඇතැයි කොමර්ෂල් බැංකුව සඳහන් කරයි. ගල් වලින් බහුල මතුපිට සරු පසක්ද නොමැති ‘D’ කළාපය නැවත වන වගාව සිදු කිරීමේ ආකෘතියක් ලෙස වර්ධනය කෙරෙනු ඇත.

 

නැවත වන වගාව සිදුකිරීමේ මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ  වනජීවී දෙපාර්තමේන්තුව විසින් වනජීවී සහ ස්වභාව ධර්මය සුරැකීමේ සමාජය වෙත නැවත වන වගාව සඳහා ලබාදුන් මෙම බිම්කඩ මෙරට ආවේණික ශාඛ උපරිම අයුරින් අඩු පිරිවැයක් යටතේ වගා කරමින් නැවත වන වගා කිරීමේ තිරසාර ආකෘතියක් ලෙස සංවර්ධනය කිරීමයි.

 

මෙම ව්‍යාපෘතියට අදාළ අවබෝධතා ගිවිසුමට පසුගියදා කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ ජෙගන් දුරෙයිරත්නම් මහතා සහ වනජීවී සහ ස්වභාව ධර්මය සුරැකීමේ සමාජයේ උප සභාපති රාහුල දිසානායක මහතා අත්සන් තැබීය.

 

ප‍්‍රජාව වෙනුවෙන් කොමර්ෂල් බැංකුව විසින් සිදුකරන මෙම නවතම සමාජ සත්කාරක වැඩසටහන පිළිබඳව දුරෙයිරත්නම් මහතා මෙසේ අදහස් දැක්වීය. ‘ස්වභාවික සම්පත් වලින් පොහොසත් රටක්වීමේ වාසනාව අපට ලැබී තිබෙනවා. නමුත්, මෙරට වනාන්තරවල තිබෙන ඉතාමත් වටිනා ගස්වැල් මේ වනවිට විවිධ හේතූන් නිසා වේගයෙන් විනාශයට පත්වෙමින් තිබෙනවා. කැලෑ එළි පෙහෙලි කිරීම නිසා ස්වභාවික විපත් දිනෙන් දිනම වැඩි වෙනවා. සමාජ වගකීම පිළිබඳව දැඩිව සිතන ආයතනයක් ලෙස කොමර්ෂල් බැංකුව ස්වභාව ධර්මය නැවතත් නගා සිටුවීම සඳහා දායක වන මෙවැනි වැඩසටහන් වෙනුවෙන් සහයෝගය ලබාදෙනවා. සිංහරාජ වනාන්තරය අප රටට ඉතාමත් වැදගත් වනාන්තරයක්. මෙහිදී, අවබෝධ කරගත යුත්තේ වැසි වනාන්තර විනාශ කිරීම පහසු වුවත් ඒවා නැවතත් වගා කිරීම ඉතාමත් අපහසු බවයි.’

 

1894 වසරේදී ආරම්භ කර තිබෙන ශ‍්‍රී ලංකා වනජීවී සහ ස්වභාව ධර්මය සුරැුකීමේ සමාජයේ 3000 ක පමණ සාමාජික පිරිසක් සිටින අතර එහි අනුග‍්‍රාහකයා වන්නේ ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයායි. මෙම සමාජය ස්වභාව ධර්මය කෙරෙහි ප‍්‍රතිපත්ති සකස් කිරීමේදී එයට ධනාත්මකව බලපෑමක් සිදුකරන අතර පරිසරය පිළිබඳව අධ්‍යාපනයද ජනතාවට ලබාදෙයි. රජය සහ එහි ආයතන සමග මෙම සමාජයට තිබෙන ශක්තිමත් සබඳතාවය තුළින් වගකීම, තිරසාර සංවර්ධනය මෙම සමාජය විසින් නිරන්තරයෙන් ප‍්‍රවර්ධනය කරයි.

 

මෙම සමාජය සමග කොමර්ෂල් බැංකුව සිදුකරන මෙම නැවත වන වගා කිරීමේ ව්‍යාපෘතිය බැංකුවේ  ආයතනික සමාජ වගකීම් භාරය විසින් කළමනාකරණය කර අධීක්‍ෂණය කරන අතර මෙම භාරය විසින් විවිධ සමාජ සත්කාරක වැඩසටහන් සිදුකරයි.

 

කොමර්ෂල් බැංකුවේ අරමුදල් දායකත්වයෙන් පාරිසරික ක්‍ෂ්ත‍්‍රයේ සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස හික්කඩුව සමුද්‍රීය ජාතික උද්‍යානයේ කොරල් නැවත වගා කිරීමේ සුවිශේෂී ව්‍යාපෘතියක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට පෙර සිදුකර තිබේ. මේ අනුව, පිලිපීනයේ සාර්ථක වූ තාක්ෂණික ක‍්‍රම උපයෝගී කර ගනිමින් සමුද්‍රීය උද්‍යානයේ වල්දූව ප‍්‍රදේශයේ වර්ග අඩි 1000 ක කොටසක කොරල් නැවත වගා කිරීම සඳහා දෙපාර්තමේන්තුව කටයුතු කරන ලදී. මෙම ප‍්‍රදේශයේ තිබූ මුල් කොරල් 1998 දී ‘එල්නිනෝ’ උණුසුම් දියවැල හේතුවෙන් මුහුද උණුසුම් වීම හා 2004 දී සුනාමිය නිසා හානියට පත්විය.

 

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම හය වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර ශ‍්‍රී ලංකාව පුරා ශාඛා 256 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 668 ක් ක‍්‍රියාත්මක කරයි. ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව, හොඳම වෙළඳ බැංකුව, ශක්තිමත්ම බැංකුව සහ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස වසර ගණනාවක් දෙස් විදෙස් ආයතන සහ ප‍්‍රකාශන විසින් සම්මාන රැුසක් බැංකුව දිනා තිබේ. ලංකා වාණීජ මණ්ඩලය විසින් තෝරාපත් කරගත් ශී‍්‍ර ලංකාවේ හො`දම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට වසර ගණනාවක් එක්වීමටද බැංකුවට හැකිවිය.

කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් 2016 වසරේ සැප්තැම්බර් මාසයේදී මාලදිවයින තුළ තමන්ට 55% කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවක් ආරම්භ කරන ලදී. මේ අතර, 2016 නොවැම්බර් මාසයේදී බැංකුව විසින් තමන්ටම අයත් මුදල් පේ‍්‍රෂණ සේවාවක් ඉතාලියේ ආරම්භ කරන ලදී.

 

සේයාරු සටහන - කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, ජෙගන් දුරෙයිරත්නම් මහතා (දකුණේ සිට තුන් වැන්නා) බැංකුවේ ආයතනික සමාජ වගකීම් භාරයේ සහ වනජීවී සහ ස්වභාව ධර්මය සුරැුකීමේ සමාජයේ (WNPS) නියෝජිතයින් ඉදිරිපිටදී මෙම ව්‍යාපෘතියට අදාළ අවබෝධතා ගිවිසුම වනජීවී සහ ස්වභාව ධර්මය සුරැකීමේ සමාජයේ (WNPS) උප සභාපති රාහුල දිසානායක මහතා සමඟ හුවමාරු කරගත් අයුරු.