වසර දෙකහමාරකට පසු සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,500 කඩඉම පසුකරයි

    December, 8, 2020

    කොළඹ කොටස් වෙළෙඳපොළ වර්ධනාත්මක ප්‍රවණතාව අඛණ්ඩව පෙන්නුම් කරමින් අද (08) දිනයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 90.24 ක ඉහළ යාමක් වාර්තා කළේය. මේ අනුව සියලු කොටස් මිල දර්ශක අගය දිනය අවසානයේ දී ඒකක 6,564.00 ක් ලෙසින් සටහන් වූ අතර මෙය 2018 පෙබරවාරි 26 දිනය පසු වාර්තා වූ වැඩිම සියලු කොටස් මිල දර්ශක අගය ලෙසින් වාර්තා වේ. එසේම 2018 මැයි 04 වනදායින් පසු ඒකක 6,500 සීමාව පසුකිරීමට සියලු කොටස් මිල දර්ශකය මුල් වරට සමත් වූයේ ද අද දිනයේ දීය.

    මේ අතර අද දින ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 4 සීමාව ඉක්මවා ගිය අතර රු. බිලියන 4.23 ක වටිනාකමකින් යුතු කොටස් ගනුදෙනු එහිදී වාර්තා විය. මෙහිදී බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් (රු. මිලියන 617.51), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (රු. මිලියන 484.35), රෝයල් සෙරමික් (රු. මිලියන 200.07) යන සමාගම්වල කොටස් ගනුදෙනු දෛනික පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලබා දෙන ලදී.

    සියලු කොටස් මිල දර්ශකයට අනුව 2020 වසර තුළ දී වසර ආරම්භයට සාපෙක්ෂව 7.09% ක වර්ධනයක් අත්පත් කර ගැනීමට කොළඹ කොටස් වෙළෙඳපොළ මේ දක්වා සමත් වී ඇත.