වාර්තාගත අඩු පොළියකට මහ බැංකුව රු. බිලියන 35ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරයි

    July, 22, 2020

    ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව අද (22) දින කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී රු. බිලියන 35.1 ක වටිනාකමකින් යුතු බිල්පත් නිකුත් කළ බව නිවේදනය කර සිටී.

    දින 91, 182 හා 364 යන පරිණත කාල කාණ්ඩයන් 3ක් යටතේ පිළිවෙලින් රු. මිලියන 6,401 ක්, රු. මිලියන 11,385 ක් හා රු. මිලියන 17,314 ක් වශයෙන් නිකුතුව සිදුකර තිබේ. වෙන්දේසියට ලැබී තිබුණු මුළු ලංසු ප්‍රමාණය රු. මිලියන 64,261 කි.

    මෙවර වෙන්දේසියේ විශේෂත්වය වන්නේ පසුගිය සතියට සාපේක්ෂව අද (22) දිනයේ දීද පොළී අනුපාතික වාර්තාගත ලෙස පහළ යාමයි. එහිදී දින 91 බිල්පත් පොළිය 4.65% සිට 4.60% දක්වා, දින 182 බිල්පත් පොළිය 4.75% සිට 4.69% දක්වා සහ දින 364 බිල්පත් පොළිය 4.91% සිට 4.86% දක්වා පහළ ගොස් ඇත.

    පසුගිය සතියේ දී භාණ්ඩාගාර බිල්පත් සඳහා වූ බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතික සියයට 5 මට්ටමෙන් පහළට පැමිණි අතර එය 1989 වසරෙන් පසු වාර්තා වූ අඩුම පොලී අනුපාතික වශයෙන් සැලකේ. මේ අනුව මෙවර වෙන්දේසියේ දී තීරණය වී ඇති පොළී අනුපාතිකයන් ද ඓතිහාසක ලෙස යළිත් වරක් පහතට පැමිණ තිබීම විශේෂත්වයකි.