වාහන ආනයන වියදම අප්‍රේල් මාසයේ දී 180% කින් වැඩිවෙලා

    June, 29, 2018

    2018 අප්‍රේල් මාසයේ දී මෙරටට ආනයනය කර ඇති රථවාහනවල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 157.8 ක් ලෙසින් වාර්තා වේ. මෙය පසුගිය 2017 වසරේ අප්‍රේල් මාසයේ දී ආනයනය කර ඇති රථවාහන විටනාකම වන ඩොලර් මිලියන 56.3 හා සැසඳීමේ දී සියයට 180.2 ක ඉහළ යාමකි.

    සිලින්ඩර ධාරිතාව අඩු මෝටර් රථ, දෙමුහුන් රථ සහ විද්‍යුත් මෝටර් රථ ආනයනය කැපී පෙනෙන ලෙස ඉහළ යෑම හේතුවෙන් පාරිභෝගික භාණ්ඩ යටතේ  වර්ග කර ඇති පෞද්ගලික භාවිතය සඳහා වන රථවාහන ආනයන වියදම ඉහළ යෑම සමස්ත ආනයන වියදමේ වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් දායක වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇති බව 2018 අප්‍රේල් මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාවේ සඳහන් වේ.

    මේ අතර 2018 මුල් මාස 04 තුළ දී රථවාහන ආනයනය සඳහා දරා ඇති මුළු වියදම ඩොලර් මිලියන 516.6 ක් ලෙසින් සටහන් වේ. මෙය 2017 මුල් මාස 04 හි රථවාහන ආනයන වියදම වූ ඩොලර් මිලියන 248.2 හා සැසඳීමේ දී සියයට 108.2 ක වැඩිවීමක් ලෙසින් වාර්තා වේ.