වැඩිම ණය චීනයෙන්

    November, 19, 2020

    2020 වසරේ ජනවාරි මස 01 වන දින සිට අගෝස්තු 31 වන දින දක්වා ඇ.ඩො. මිලියන 1,352.2 ක විදේශ ප්‍රතිලබ්ධි ප්‍රමාණයක් ලබා ගෙන ඇති අතර, මෙයින් ඇ.ඩො. මිලියන 1,320.9 ක් ණය ප්‍රතිලබ්ධි වන අතර, ඇ.ඩො. මිලියන 31.3 ක් ප්‍රදාන ලෙස ලද ප්‍රතිලබ්ධි (Disbursements) වී ඇත.

    මෙම ප්‍රතිලබ්ධිවලින් ඉහළම ප්‍රමාණය චීනය සමඟ අත්සන් කරන ලද ණය ගිවිසුම් මගින් ලබා ගත් අතර, එය සමස්තයෙන් ආසන්න වශයෙන් සියයට 50 ක් ද අනතුරුව ඉහළ ප්‍රමාණයක් ලෝක බැංකුව (සියයට 15), ආසියානු සංවර්ධන බැංකුව (සියයට 14), සහ ජපානය (සියයට 9) සමඟ අත්සන් කරන ලද ණය ගිවිසුම් අනුව සිදු වූ ප්‍රතිලබ්ධි වේ.

    අයවැය මූල්‍යකරණය සඳහා ලබාගත් ඇ.ඩො. මිලියන 500 ක ප්‍රමාණයට අමතරව, මෙම වසරේ සිදුවූ ප්‍රතිලබ්ධි වලින් ඉහළ ප්‍රමාණයක් මාර්ග හා පාලම් අංශයේ (සියයට 17) ව්‍යාපෘති වල උපයෝජනය පිණිස යොදවා ඇති අතර, අනතුරුව මෙයින් සියයට 25 ක් මාර්ග හා පාලම් අංශයේ ද ජල සම්පාදන හා සනීපාරක්ෂාව අංශයේ සියයට 18 ක් හා සියයට 18 ක් ප්‍රවාහන අංශයේ එකඟතා පළ කරන ලද ව්‍යාපෘතිවල උපයෝජනය වීමට නියමිතය.

    ඉහළ ප්‍රමාණයක් ප්‍රවාහනය (සියයට 11), ජල සම්පාදනය හා සනීපාරක්ෂාව (සියයට 9), සහ ආපදා කළමණාකරණය (සියයට 4) යන අංශ යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති වල උපයෝජනය පිණිස යොදවා ඇත.

    එකඟතා පළකරන ලදුව ඉදිරියේදී උපයෝජනය වීමට නියමිත ශේෂය

    දැනට එකඟතා පළ කර ඇති එකඟතා අනුව ඉදිරි වසර 3-5 ත් අතර කාලපරිච්ඡේදය තුළ විවිධ ව්‍යාපෘති හා වැඩසටහන් වල උපයෝජනය වීමට නියමිත විදේශ මූල්‍යයන වල ශේෂය 2020 වසරේ අගෝස්තු මස 31 දින වන විට ඇ.ඩො. මිලියන 8,737 ක් විය. මෙයින් ඉහළම ප්‍රමාණය චීනය විසින් ලබා දීමට නියමිත අතර, අනතුරුව ඉහළ ප්‍රමාණයක් පිළිවෙළින් ආසියානු සංවර්ධන බැංකුව, ජපානය සහ ලෝක බැංකුව විසින් ලබා දීමට නියමිත වේ.

    විදේශ ණය ප්‍රමාණය හා විදේශ ණය සේවාකරණය

    2020 වසරේ අගෝස්තු මස 31 දින වන විට රජය ලබාගත් විදේශ ණය මූල්‍යනයන් සඳහා ආපසු ගෙවීමට එකතු වී තිබූ විදේශ ණය ප්‍රමාණය ඇ.ඩො. බිලියන 35.3 කි. තවද, 2020 ජනවාරි මස 1 වන දින සිට අගෝස්තු මස 31 දක්වා සිදුකරන ලද ණය සේවාකරණය ඇ.ඩො. මිලියන 2,292.7 කි. මෙයින් ඇ.ඩො. මිලියන 1,348.6 ක් ණය ආපසු ගෙවීම සඳහා යොදවා ඇති අතර, ඉතිරිය වන ඇ.ඩො. මිලියන 994.1 ක් පොලී ගෙවීම සඳහා යොදවා ඇත.

    2020-21 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාවෙහි මේ බව සඳහන් වේ.