විදේශ ණය අඩුකරනවා – නව මහ බැංකු අධිපති කබ්රාල්

    September, 15, 2021

    විදේශ ණය අඩුකර ගැනීමට ප්‍රමුඛත්වය ලබා දෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. අද (15) දිනයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ 16 වන අධිපතිවරයා වශයෙන් වැඩභාර ගනිමින් ඔහු මේ බව කියා සිටියේය.

    මීට අමතරව, ණය නොවන මුදල් රටට ගලා එන වාතාවරණයක් ඇතිකර සංචිත ශක්තිමත් කිරීම, දළ දේශීය නිෂ්පාදිතය වැඩිකර ගැනීම හා රුපියලේ අගය පවත්වා ගෙන යාම සෙසු ප්‍රමුඛ කර්තව්‍යයන් ලෙස මහ බැංකු අධිපතිවරයා ‌මෙහිදී අවධාරණය කළේය.

    "අද වෙන කොට අපේ රටේ දළ දේශීය නිෂ්පාදිතය තවමත් තියෙන්නේ බිලියන 80. අවුරුදු 6-7 ක් ගත වුණාට පස්සේ තාමත් එම තත්ත්වයමයි තියෙන්නේ. ඒකපුද්ගල ආදායම අඩුවෙලා තියෙනවා ඇමරිකානු ඩොලර් 3,600 කට පමණ. ණයබරතාවය එවකට ට්‍රිලියන 7 සිට ට්‍රිලියන 16 දක්වා වැඩිවෙලා තිබෙනවා. ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරම අපිට තියෙනවා බිලියන 13 ක් දැන්. 2019 දී බිලියන 15 ක් තිබුණා. දැන් ණය ගෙවලා බිලියන 13 ක් තිබෙනවා. එය අපේ දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදියට 16% ක් වෙනවා. පොලී අනුපාතය දැන් GDP එකෙන් 6%ක් පමණ ගෙවන්න සිදුවෙනවා. ‌ශ්‍රේණිගත කිරීමෙන් අපි දැන් CCC වලට බැහැලා තියෙනවා. උද්ධමන අපේක්ෂාව වැඩිවෙලා තියෙනවා. සෘජු විදේශ ආයෝජන මිලියන 1,000කට වඩා අඩුවෙලා තියෙනවා. විදේශ සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 4ක් පමණ තිබෙනවා. ඊට අමතරව තවත් බිලියන 1 1/2 ක පමණ SWAP ඒකකුත් අපිට තියෙනවා චීන සංවර්ධන බැංකුවෙන්. රුපියලේ අගය පිරිහිලා තිබෙනවා. විශේෂයෙන්ම ලොක්ඩවුන් එක හරහා කොවිඩ් වසංගතය නිසා අද විරැකියාව වැඩිවෙලා තිබෙනවා. දිළිඳුකමත් වැඩිවෙලා තිබෙනවා. ඒ නිසා අපිට අභියෝග තියෙනවා."

    "අපිට විදේශ ණය අඩු කර ගන්නට අවශ්‍යයි. මම මෙතනට ආවට පස්සේ අපේ ප්‍රමුඛත්වයක් දෙන්නට යනවා විදේශ ණය ක්‍රමක්‍රමයෙන් අඩුකර ගැනීමට. ඒත් එක්කම ණය නොවන මුදල් රටට ගලා එන්නට අපි වාතාවරණය සකස් කරන්නට අවශ්‍යයි. ඒමඟින් විදේශ සංචිත වැඩිකර ගන්න අපි බලාපොරොත්තු වෙනවා. විදේශ ගිණුම පාලනය කරගන්නට අවශ්‍යයි. අපි අනෙක් රටවල් සමඟ කරන ගනුදෙනු හොඳින් පාලනය කරන්න බලාපොරොත්තු වෙනවා. දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය කරගන්නටත් අවශ්‍යයි. යටිතල පහසුකම් වර්ධනය කරන්නට අවශ්‍යයි. රුපියලේ අගය පවත්වා ගෙන යන්න අවශ්‍යයි. ඒ සියලු දේවල්ම අපි කළ යුතුයි."