විලියම් බහිනවා ….

    June, 28, 2018

    මෙරට පැරණිතම ඇඹරුම්හලක් වන දෙහිවල විලියම් ග්‍රයින්ඩින් මිල්ස් ආයතනය සිය ව්‍යාපාර කටයුතු අවසන් කිරීමට තීරණය කර තිබේ.

    2018 ජූනි 21 දින සිට සිය ව්‍යාපාර කටයුතු අවසන් කරනු ලබන බවට ආයතනයේ කළමනාකාරීත්වය විසින් එහි ඉදිරිපිට පළ කර තිබෙන දැන්වීමක් මගින් සිය පාරිභෝගිකභවතුන් වෙත මේ බව දැනුම් දී සිටී.

    1951 වසරේ ඇරඹි මෙම ව්‍යාපාරය ගාලුපාරේ, දෙහිවල - වැල්ලවත්ත සීමාවේ මංසළකුණක් ලෙසින් හැඳින්වෙන අතර එහි ආසන්නයේ ඇති බස්නැවතුම්පොළ ද ජනප්‍රිය වී ඇත්තේ විලියම් යනුවෙනි. “විලියම් බහින අය ඉස්සරහට එන්න“, “විලියම් බහිනවා“ වැනි වදන් මෙම ස්ථානය ආසන්නයේ දී බස් රථ කොන්දොස්තරවරුන්ගෙන් නිරන්තරයෙන් අසන්නට ලැබේ.

    වේගයෙන් සංවර්ධනය වන කලාපයක පිහිටි මෙම භූමිභාගය, ඇඹරුම්හලකට වඩා වාණිජමය වශයෙන් වැඩි වැදගත්කමක් ඇති වෙනත් ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීමේ අරමුණින් මෙම ව්‍යාපාරය අවසන් කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කර සිටී.

    වැල්ලවත්ත රෙදිමෝල වැසී ගොස් එහි දැවැන්ත සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් ඉදි වුවද, ‘රෙදි මෝල‘ බස් නැවතුම්පළ තවමත් පවතී. එසේම විලියම් වැසී ගිය ද ‘විලියම් බසින අය‘ හෙට දවසේ දීද අපට හමුවනු ඇත.

     

    ඡායාරූපය - facebook හරහා හුවමාරු වූවකි.