විවිධ අභියෝගයන් මධ්‍යයේ ශ‍්‍රී ලංකා ආර්ථිකය 2021 වසරේ 3.3% ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරයි

October, 7, 2021

සේවා අංශය මුල් කරගත් ක්‍රමෝපායන් මඟින් ආර්ථිකය වඩාත් හොඳින් යථාතත්වයට පත්කර ගත හැක.

2021 වසරේදී ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය 3.3% කින් වර්ධනය වන බවට පුරෝකථනය කර තිබේ. එහෙත් කාලයක් තිස්සේ පැවති ආර්ථිකයේ ව්‍යුහාත්මක දුර්වලතා සහ කොවිඩ්19 වසංගතයේ බලපෑම මධ්‍යකාලීනව වැදගත් අභියෝග රාශියක් මතු කරනු ඇත.

ආර්ථිකය නැවත සාමාන්‍යකරණය වනවිට ක්‍රමිකව ශ්‍රම වෙළඳපළ ද යථාතත්වයට පත්වනු ඇත. දකුණු ආසියාවේ  බොහෝ රටවල් වසංගතයට පෙර පැවැති ආර්ථික මට්ටමට වඩා පහළ තත්වයකට පත්ව ඇති බව ලෝක බැංකුව වසරකට දෙවතාවක් නිකුත් කරන කලාපීය වාර්තාව මගින් පෙන්වාදී තිබේ.

ඩිජිටල්කරණය සහ සේවා ප‍්‍රමුඛ කරගන්නා සංවර්ධනය (Shifting Gears: Digitization and Services-Led Development)  යනුවෙන් හැඳින්වෙන නවතම දකුණු ආසියානු ආර්ථික දැක්ම  මගින් මෙම කලාපයේ ආර්ථිකය 2021 සහ 2022 වසර වලදී 7.1% කින් වර්ධනය වන බවට පුරෝකථනය කර ඇත. තවද 2020-23 කාලය තුලදී දකුණු ආසියාවේ සාමාන්‍ය ආර්ථික වර්ධනය 3.4% ක් වනු ඇතැයි අනාවැකි පළ කර තිබේ. මෙය වසංගතයට පෙර පැවැති වසර 4 ක තත්වය හා සසඳන විට 3% අඩු තත්වයකි.

කොවිඩ් 19 වසංගතය මගින් කළාපයේ ආර්ථිකයට දීර්ඝකාලීන හානි සිදුවී ඇත. මෙම බලපෑම් යථා තත්වයට පත්වීමට සෑහෙන කාලසීමාවක් ගත වනු ඇත. බොහෝ රටවල් අඩු මට්ටමේ ආයෝජන ප‍්‍රවාහයන්, සැපයුම්දාමයන්ට ඇතිවන බාධාවන් , මානව ප‍්‍රාග්ධනය වර්ධනයේ සිදුවූ පසුගාමී තත්වයන් මෙන්ම ණයගැතිභාවයෙහි  සැලකියයුතු වැඩිවීමකට ද මුහුණදී තිබේ. මෙම වසංගත තත්වය මගින් දකුණු ආසියානු කළාපයේ මිලියන 48 සිට 59 දක්වාවූ ජනතාවක් දරිද්‍රතාවයට පත්වීමට හෝ දරිද්‍රතාවයේ රැඳී සිටිමට හේතුවන ඇතැයි ඇස්තමේන්තුගත කර තිබේ. දිනකට ඇමෙරිකානු ඩොලර් 3.20 වන දරිද්‍රතා රේඛාව සලකා බැලීමේදී 2021 වසරේදී ශ‍්‍රී ලංකාවේ දරිද්‍රතාව 10.9% ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර මෙය 2019 වසරේදී පැවැති 9.2% ට වඩා පැහැදිලිව ඉහළ අගයකි.

“මේ වන විට ශ‍්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 50% කට වඩා එන්නත ලබාදීම සාර්ථකව සිදු කර තිබෙන අතර ආර්ථිකය යථාතත්වයට පත්වීමට බාධාවිය හැකි කොවිඩ් 19 රැල්ලක් නැවත ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය  ක‍්‍රියාමාර්ග පිළිිබඳව ද  රජය මේ වනවිට  අවධානය යොමුකර තිබෙනවා” යනුවෙන් මාලදිවයින්, නේපාලය සහ ශ‍්‍රී ලංකාව සඳහාවූ ලෝක බැංකුවේ අධ්‍යක්ෂක ෆාරිස් හඩාඩ් සර්වොස් මහතා පැවසීය. “මෙම වසංගතය මගින් අතිශය දරුණු බලපෑමක් අධ්‍යාපන ක්ෂේත‍්‍රයට ඇතිකර තිබෙනවා. මේ අන්දමින් ඉගෙනීම් ක‍්‍රියාවලියට බාධාවන් ඇතිවීම තුලින් රටේ මානව ප‍්‍රාග්ධන ප‍්‍රතිලාභ ලබාගැනීමට දැඩි බාධාකාරී තත්වයන් අත්විය හැකියි. දිර්ඝකාලීන වශයෙන් පවත්නා අසමානත්වයන් දුරලීම සහ සාධාරණත්වය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන පරතරයන් අවම කිරීම සඳහා  ඉලක්ක කරන ලද ප‍්‍රතිපත්ති වර්ධන අපේක්ෂාවන් කරා ගමන් කිරීමේදී ප‍්‍රමුඛතාවය ලබාදිය යුතු කරුණුවේ”   එම මහතා තව දුරටත් පැවසීය.

විශේෂයෙන්ම සාර්ව ආර්ථික අභියෝගයන්, ඉහළ මට්ටමේ ණය ගැතිභාවය, විශාල  ප‍්‍රතිමූල්‍යන අවශ්‍යතා සහ විදේශ සංචිත පහළ වැටීම ශ‍්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සහ දරිද්‍රතාවය අවම කිරිමේ මධ්‍යකාලීන ප‍්‍රයත්නයට අහිතකර බලපෑම් ඇති කරනු ඇත. පොලි අනුපාත ඉහළ දැමීම සහ මිල පාලනයන් ක‍්‍රියාවට නැංවූවත් අයවැය හිඟය පියවීමට ආධාර කිරීම සඳහා මුදල් සැපයුම ප්‍රසාරණය කිරීම,  රුපියල අවප‍්‍රමාණය වීම, ලෝක වෙළඳපලේ මිල මට්ටම ඉහළයාම උද්ධමනය ඉහළ යාමට හේතු වනු ඇත. ආහාර මිලගණන් ඉහළයාම සහ සැපයුමේ හිඟකම ආහාර සුරක්ෂිතභාවයට අහිතකර ලෙස බලපෑ හැක.

රටවල් නැවත යථා තත්වයට පත්වෙමින් සිටින බැවින් ඔවුන්ට තම දීර්ඝකාලීන සංවර්ධන ආකෘතීන් පිළිබඳව නැවත සිතා බැලීමට අවස්ථාව උදාවී තිබේ. නව ඩිජිටල් තාක්ෂණයේ වර්ධනයත් සමඟ දකුණු ආසියාවට සාම්ප‍්‍රදායික නිෂ්පාදන පෙරටු කරගත් ආර්ථික ක‍්‍රමෝපායයන්ගෙන් වෙනස් මගක් ගනිමින් සේවා අංශය වර්ධනය කිරිමට අවස්ථාව උදාවී ඇත.

දිගු සහ මධ්‍යකාලීනව ඩිජිටල් තාක්ෂණ ක්ෂේත‍්‍රය ශ‍්‍රි ලංකාවේ රැකියා අවස්ථා වර්ධනය කිරීම සඳහා වැදගත් එන්ජිමක් ලෙස සැලකිය හැකිය. ශ‍්‍රි ලංකාවේ ජංගම දුරකතන භාවිතය විශාල වශයෙන් ව්‍යාප්තව තිබුනද ඩිජිටල් විප්ලවයේ ඵල නෙලා ගැනීමට දිවයිනම ආවරණය වන වේගවත් සන්නිවේදන ජාලයන් වැඩිදියුණු කිරීම, දත්ත ලබාගැනීමේ පවත්නා පහසුකම් වැඩිදියුණු කිරීම සහ ඩිජිටල් සාක්ෂරතාවය නංවාලීම අවශ්‍ය වනු ඇත.

“දකුණු ආසියාවේ රටවල් නිෂ්පාදන අපනයනය කිරීමේ වෙළඳපොලට පිවිසීමට ඉමහත් අරගලයක් සිදුකරන නමුත් ඔවුන්ට ව්‍යාපාරික ක‍්‍රියාවලි සහ සංචාරක කර්මාන්තය ද ඇතුලුව සේවාවන් අපනයනය කිරීමට ශක්තිමත් වාසිදායක තත්වයන් තිබෙනවා” යනුවෙන් ලෝක බැංකුවේ දකුණු ආසියාව සඳහා වූ ප‍්‍රධාන ආර්ථික විද්‍යාඥ හැන්ස් ටිමර් මහතා පැවසීය. “සේවා අංශය ප‍්‍රමුඛ කරගත් සංවර්ධනයක් ඇති කිරීම සඳහා නවෝත්පාදනය සහ තරගකාරිත්වය වර්ධනයට සහයෝගය ලබාදෙන නව ආයතන ව්‍යුහයන් ස්ථාපිත කිරීමටත් , දැනට පවත්නා නීති සහ රෙගුලාසි පිළිබඳව නැවත සිතාබැලීමටත් කටයුතු කළ යුතුවේ” එම මහතා තව දුරටත් පැවසීය .