වෛද්‍ය රසායනාගාර ලබා ඇති ප්‍රමිති සහතික රෝගීන් සුවපත් කිරීමේ ක්‍රියාවලියේදී වැදගත්වන ආකාරය

June, 9, 2017

රෝගියෙකු සුවපත් කිරීමේ කාර්යයේදී සෞඛ්‍ය සේවා සපයන වෛද්‍යවරයාගේ විශාලතම වගකීම වන්නේ ඉතා හොඳින් රෝගියාව සායනිකව කළමනාකරණය කිරීම ය. මෙහිදී නිවැරදි වෛද්‍ය රසායනාගාර වාර්තා රෝගීන් සුවපත් කිරීමේ කාර්යයට බෙහෙවින්ම උපකාරී වේ.

වර්තමානය වනවිට වෛද්‍ය රසායනාගාර සේවාවන් බහුල ලෙස දැකිය හැකි නිසා රෝගීන්ට තමන්ට කැමැති රසායනාගාර සේවාවක් තෝරාගැනීමේ අවකාශය පවතී. නමුත් නිරවද්‍ය නොවන වෛද්‍ය රසායනාගාර වාර්තා මගින් රෝගියාට කාලයත් මුදලත් යන දෙකම අහිමි වී යා හැකිය.

මේ පසුබිම තුළ නිරවද්‍යතාවයෙන් යුත් වෛද්‍ය රසායනාගාර වාර්තා ඉදිරිපත් කිරීමේ හා වෛද්‍ය ප්‍රතිකාර සැපයීම කඩිනම් කිරීම සඳහා කලට වේලාවට එම වාර්තා සැපයීමේ භාරදූර වගකීම වෛද්‍ය රසායනාගාරය වෙත පැටවී තිබේ.

වෛද්‍ය රසායනාගාරයකට ප්‍රතීතන සහතිකයක් (Accreditation Status) පැවතීමේ වැදගත්කම පිළිබඳ සඳහන් කරමින් රසායන ව්‍යාධිවේදී විශේෂඥ වෛද්‍ය සරෝජා සිරිවර්ධන මහත්මිය මෙසේ පැවසුවාය. “වෛද්‍ය රසායනාගාර සේවාවන් සඳහා ප්‍රතීතන සහතික පිරිනැමෙන්නේ තෙවැනි පාර්ශ්වයක් මගිනුයි. එහිදී ගුණාත්මක භාවය පිළිබඳ නිසි නිර්ණායක සපුරාගත් වෛද්‍ය රසායනාගාර සඳහා අනුමැතිය පිරිනැමෙනවා. ඒ හරහා අදාළ රසායනාගාර මගින් පිරිනැමෙන වෛද්‍ය වාර්තාවන්හි විශ්වසනීයත්වයත් ඉහළ නැංවෙනවා”.

සායනික වෛද්‍යවරයාට නිවැරදි රෝග විනිශ්චයක් ලබාගැනීමට ඉඩ සලසමින්, සුදුසු ප්‍රතිකාරය ලබාදීමට උපකාරීවන උපරිම නිරවද්‍යතාවයකින් හා විශ්වසනීයත්වයකින් යුත් රසායනාගාර වාර්තා ලබාගැනීමට සියලු රෝගීහු උත්සුක වෙති. මේ නිසාම අනුමැතිය ලත් වෛද්‍ය රසායනාගාරයක් තෝරාගැනීමේදී රෝගියාට යම් සහායක් ලැබිය යුතුව පවතී.

එමෙන්ම වෛද්‍ය රසායනාගාර සඳහා ප්‍රතීතන සහතික ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ නෛතික අවශ්‍යතාවයක් දක්නට ලැබෙන්නේ නැත. එසේ වුවත් ඇතැම් වෛද්‍ය රසායනාගාර එවැනි අනුමැතීන් ලබාගැනීම සඳහා පියවර ගෙන තිබීම  ප්‍රශංසනීයය.

“ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය රසායනාගාර ප්‍රතීතන සම්බන්ධයෙන් කටයුතු කරන්නේ අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය (Sri Lanka Accreditation Board) යි. එමෙන්ම අන්තර්ජාතික ප්‍රමිතිකරණ මණ්ඩලය (International Standard Organization - ISO) මගින් ලබාදෙන ISO 15189 නිර්දේශ මගින් වෛද්‍ය රසායනාගාරවල ප්‍රවීණත්වය සහ ගුණාත්මකභාවය සහතික කිරීම උදෙසා සකසා ඇති ගුණාත්මක කළමනාකරණ ක්‍රමෝපායන් හඳුන්වා දී ඇති බව වෛද්‍ය සරෝජා සිරිවර්ධන මහත්මිය විස්තර කළාය.

“ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය විසින් ස්වේච්ඡාමය වශයෙන් සහතික ලබාගැනීම ප්‍රවර්ධනය කරන බැවින් කිසියම් වෛද්‍ය රසායනාගාරයක සිදුකෙරෙන පරීක්ෂණවලින් සුළුතරයකට පමණක් වුවද සහතික ලබාදීම අනුමත වී තිබෙනවා. මෙවන් සහතිකවල වලංගු කාලසීමාව සහ අනුමත වී ඇති පරීක්ෂණ ලැයිස්තුව ආදී දත්තයන් ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩල වෙබ් අඩවියේ (www.slab.lk) පළකර තිබෙනවා” ඇය තවදුරටත් පැවසුවාය.

ජාත්‍යන්තර පිළිගැනීමට ලක් වූ එවන් ප්‍රධානතම සහතිකකරණය ඉදිරිපත් කර ඇත්තේ, අමෙරිකා එක්සත් ජනපදයේ ව්‍යාධිවේද විශේෂඥ වෛද්‍යවරයින් නියෝජනය කරන වෘත්තීය ආයතනය වන අමෙරිකානු ව්‍යාධිවේද වෛද්‍ය ආයතනයයි. එම ආයතනය විසින් ඇගැයීමට ලක්කළ වෛද්‍ය රසායනාගාර සඳහා ( College of American Pathologists ) CAP යන ප්‍රමිතිකරණ සහතිකය පිරිනමනු ලැබේ.

“ලැයිස්තුගත වෛද්‍ය රසායනාගාර හරහා උසස්ම ප්‍රමිතීන් සම්පාදනය කරමින්, වගකීමක් සහිත ඉහළම තත්ත්වයේ රසායනාගාර සේවාවන් සඳහා මඟපෙන්වීමක් එම ආයතනයෙන් ලැබෙනවා. ඒ අනුව සාමාජික වෛද්‍ය රසායනාගාරවල සිදුකෙරෙන සෑම පරීක්ෂණයකම ප්‍රමිතිය තහවුරු කරගැනීම සඳහා ඇමෙරිකාවේ සිට නොකඩවා සාම්පල යොමුකෙරෙන බවත්, ඒවාගේ වාර්තා ඉහළම නිරවද්‍යතාවයක් යුක්ත වීම අත්‍යවශ්‍ය බවත් සඳහන් කළ යුතුයි. එහිදී අදාළ නිර්ණායක අනුව පරීක්ෂණ සිදුකිරීම ද අනිවාර්ය කරුණක්. ඒ විතරක් නෙමෙයි, සහතිකකරණය ලබාදෙන අවස්ථාවේදීත් ඉන් අනතුරුව සෑම දෙවසරකටම වතාවකුත් බැගින් අදාළ රසායනාගාරය වෙත පැමිණ ඇගැයීමත් අමෙරිකානු ව්‍යාධිවේද වෛද්‍ය ආයතනයේ ඇගැයීම්කරුවන් විසින් සිදුකරනු ලැබෙනවා” වෛද්‍ය සිරිවර්ධන මහත්මිය තවදුරටත් අදහස් දක්වමින් කියාසිටියාය.

තවද මෙහිදී සියලුම රසායනාගාර උපකරණවල තත්ත්වය, ප්‍රතිකාර ද්‍රව්‍ය ගබඩා කරන ප්‍රමිතීන්, සාම්පල ප්‍රවාහන කටයුතු ආදිය සියුම් ලෙස පරීක්ෂාවට බඳුන් කෙරේ. එමෙන්ම කාර්ය මණ්ඩලයේ අවම සුදුසුකම්, පුහුණු අවශ්‍යතා, අඛණ්ඩ වෘත්තීය සංවර්ධන වැඩසටහන්, සුරක්ෂිතතා වැඩසටහන් ඇතුළු සමස්ත කළමනාකරණ ව්‍යුහයේම සම්පූර්ණ බව පිළිබඳව ද අවධානය යොමු කෙරේ.

“මේ අනුව බලන විට අමෙරිකානු ව්‍යාධිවේද වෛද්‍ය ආයතනයේ ප්‍රතීතකරණ සහතිකය කියන්නේ, ලබාගැනීමට අතිශය අසීරු වෛද්‍ය රසායනාගාර සහතිකයක් ලෙස සැලකිය හැකියි. ඒ  නිසාම එම සහතිකය ලත් වෛද්‍ය රසායනාගාර වෙත ඉහළ පිළිගැනීමක් හිමිවීමත් දකින්න පුළුවන්. එවැනි ඉහළ තත්ත්වයේ සහතිකයක් සහිත වෛද්‍ය රසායනාගාරයකින් පූර්ණ විශ්වාසයකින් වෛද්‍ය රසායනාගාර වාර්තා ලබාගැනීමට ජනතාවට පුළුවන්” ඇය අවසාන වශයෙන් සඳහන් කළාය.