වෛද්‍ය රසායනාගාර සේවා සඳහා සුලෙයිමාන් රෝහල LHD හා එක්වෙයි

July, 4, 2017

රෝගීන් හා වෛද්‍යවරුන් වෙනුවෙන් උසස් තත්ත්වයේ වෛද්‍ය රසායනාගාර සේවා සපයන ලංකා හොස්පිට්ල්ස් ඩයොග්නොස්ටික්ස් (LHD) රසායනාගාරය ඔස්සේ තම ඉදිරි වෛද්‍ය රසායනාගාර සේවාවන් ලබාගැනීම සඳහා කොළඹ 14 සුලෙයිමාන් රෝහල පසුගියදා තීරණය කළේය.

විශිෂ්ට වෛද්‍ය රසායනාගාර සේවාවන් සැපයීමේ හා ඉහළ නිරවද්‍යතාවකින් යුත් රසායනාගාර වාර්තා සැපයීමේ පුමුඛයෙකු වන LHD යනු ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන් පී.එල්.සී. හි අනුබද්ධ ආයතනයකි.

වෛද්‍ය රසායනාගාර පරීක්ෂණ ක්ෂේත්‍රය තුළ වර්ධනය වෙමින් පවතින සංකීරණ හා විවිධාකාර ස්වභාවය හේතුකොටගෙන විශ්වාසනීය රසායනාගාර සේවාවක සහාය ලබාගැනීමේ අවශ්‍යතාව මත සුලෙයිමාන් රෝහල මෙම තීරණයට එළඹ තිබේ. එහිදී LHD තෝරාගැනීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ, ශ්‍රී ලංකාවේ පළමු වෛද්‍ය නිර්දේශිත රසායනාගාරය වීමත් මෙරට වැඩිම වෛද්‍ය පරීක්ෂණ වර්ග ප්‍රමාණයක් සිදුකරන රසායනාගාර සේවය එය වීමත් ය.

“කොළඹ සුලෙයිමාන් රෝහල ඔවුන්ගේ වෛද්‍ය රසායනාගාර සේවාවන් අප ආයතනය වෙත පැවරීම සුවිශේෂී අවස්ථාවක් වගේම අපට ගෞරවයක්. විශ්වාසනීයත්වය, ක්‍රියාශීලී බව හා ගුණාත්මක බව අතින් ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු වෛද්‍ය රසායනාගාරයකට වඩා උසස් සේවාවක් අප වෙතින් හිමිවෙනවා” යනුවෙන් ලංකා හොස්පිට්ල්ස් ඩයොග්නොස්ටික්ස්හි සභාපති වෛද්‍ය සරත් පරණවිතාන මහතා පැවසීය.

LHD හා අත්වැල් බැඳගැනීම පිළිබඳ අදහස් දක්වමින් සුලෙයිමාන් රෝහලේ කළමනාකාර අධ්‍යක්ෂිකා, එෆ්.එම්. ජැෆර් මහත්මිය මෙසේ ප්‍රකාශ කළාය. “අපි දැනට වසර 75ක කාලයක් මුළුල්ලේ වෛද්‍ය රසායනාගාර සේවාවන් පවත්වාගෙන යනවා. නමුත් රෝගී ප්‍රතිකාර අංශය වෙනුවෙන් වැඩි අවධානයක් යොමුකිරීමට තීරණය කරමින් ශ්‍රී ලංකාවේ වෛද්‍ය රසායනාගාර සේවාවේ ප්‍රමුඛයාවන LHD ආයතනය වෙත අපේ වෛද්‍ය රසායනාගාර කටයුතු පැවරීමට අපි තීරණය කළා. උසස්ම තාක්ෂණය හා ක්‍රමවේද භාවිත කරමින් ඉහළ ගුණාත්මක බවකින් හා කාර්යක්ෂමතාවයෙන් යුතු වෛද්‍ය රසායනාගාර සේවා සැපයීම වෙනුවෙන් LHD ආයතනය උසුළන කීර්තිය එවැනි තීරණයක් ගැනීමට විශේෂ හේතුවක් වුණා”

“මේ වනවිට දැරිය හැකි මිලකට උසස් ප්‍රමිතියෙන් යුත්, වේගවත් හා විශ්වාසනීය ප්‍රතිඵල සැපයීමේ වගකීම රැගත් LHD වෛද්‍ය රසායනාගාර සේවාව යටතේ පුළුල් පරාසයක වෛද්‍ය පරීක්ෂණ පහසුකම් ලබාගැනීමේ අවස්ථාව අප රෝහල වෙත පැමිණෙන ජනතාවට හිමිවෙනවා” යැයි ඇය වැඩිදුරටත් කියාසිටියාය.

රෝගී ජනතාවගේ පහසුව වෙනුවෙන් එහිදී ලබාගන්නා වෛද්‍ය පරීක්ෂණවලට අදාළ රසායනාගාර වාර්තා රෝහල් පරිශ්‍රයේදී මෙන්ම අන්තර්ජාලය ඔස්සේ ලබාගැනීමේ අවස්ථාව ද LHD ආයතනය උදාකරදී තිබේ. www.lhd.lk වෙබ් අඩවියට පිවිසීමෙන් එසේ තම රසායනාගාර වාර්තා ඩවුන්ලෝඩ් කරගැනීමේ අවස්ථාව හිමිවන අතර අදාළ වාර්තාව සූදානම් වූ විගසින් රෝගියා වෙත දුරකථන කෙටි පණිවුඩයක් (SMS) හරහා ඒ බව දැනුම් දෙනු ලැබේ. අනතුරුව ඉහත වෙබ් අඩවියට පිවිසී පහසුවෙන් එම වාර්තා ලබාගැනීමේ අවස්ථාව පවතී.

“සුලෙයිමාන් රෝහල සමඟ LHD රසායනාගාරය එක්ව කටයුතු කිරීම තුළින් අපට රෝගී ජනතාව සමඟ හොඳ බැඳීමක් ගොඩනඟා ගැනීමටත් සමාජයට වැඩි ප්‍රතිලාභයක් හිමිකරදීමටත් අවස්ථාව සැලසෙනවා” යැයි LHD ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය දිලානි ලොකුහෙට්ටි මහත්මිය පැවසුවාය. “රෝගී ජනතාවට ලබාදෙන සේවාව අඛණ්ඩව ඉහළ නැංවීමට අපි නිබඳව කැපවී සිටිනවා. ඒ සඳහා අපගේ මානව සම්පත, ක්‍රියාවලීන්, උපකරණ හා තාක්ෂණය යොදාගැනීම් වෙනුවෙන් අපි නිරන්තරයෙන් අවධානය යොමුකරන අතර ඒ වෙනුවෙන් ආයෝජනය කරනවා. එමගින් ඉතාමත් ඉහළ විශ්වාසයකින් හා ප්‍රමිතියකින් යුත් සේවාවක් සැපයීම අපගේ ප්‍රධාන අරමුණයි. අප දැනට, මහනුවර පේරාදෙණිය පාරේ අති නවීන රසායනාගාරයක් පවත්වාගෙන යන අතර කරාපිටිය හා මීගමුව යන නගරවලත් එවැනි නවීන රසායනාගාර විවෘත කිරීමට සැලැස්මක් දැනටමත් ක්‍රියාත්මකයි” ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

ජනතාවට උසස් ප්‍රමිතියෙන් යුත් වෛද්‍ය රසායනාගාර සේවාවන් සැපයීමේ පියවරක් ලෙස අමෙරිකානු ව්‍යාධිවේද වෛද්‍ය ආයතනයේ (CAP) ප්‍රතීතකරණ සහතිකය ද LHD ආයතනය හිමිකරගෙන සිටී. CAP සහතිකය යනු වෛද්‍ය රසායනාගාර ප්‍රතීතකරණය සඳහා ගෝලීය ප්‍රමිති නිර්ණායකයවන අතර විශිෂ්ට ප්‍රමිතියකින් යුතු රසායනාගාර සේවා තුළින් රෝගීන්ගේ ආරක්ෂාව තහවුරු කරඇති බවට ජාත්‍යන්තර පිළිගැනීමක් ද ඒ හා බැඳී පවතී.