ශ්‍රීලංකන් ගුවන් සේවය MATATO සංචාරක සම්මාන උළෙලේ දී ‘2019 ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය’ ලෙස සම්මානයෙන් පිදුම් ලබයි

January, 7, 2020

මාලදිවයින වෙත මෙහෙයුම් සිදුකරන විශාලතම ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවය, මාලදිවයිනේ MATATO සංචාරක සම්මාන උළෙලේදී ‘2019 ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය’  ලෙස පසුගියදා සම්මානයට පාත්‍ර විය. ලොව පිළිගත් ගුවන් සමාගම් බොහොමයකට වඩා සංචාරක ජනතාවගෙන් වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා  ගනිමින් ශ්‍රීලංකන් ගුවන් සේවය මෙම සම්මානයට හිමිකම් කියන ලදී.

මාලදිවයිනේ සංචාරක සම්මාන උළෙල මාලදිවයිනේ සංචාරක නියෝජිතයින් සහ සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමයේ (MATATO) නිර්මාණයකි.  මෙවර 8 වන වරටත් පැවති මෙම සම්මාන ප්‍රධානයේ දී  සියලුම ප්‍රධාන කාණ්ඩයන් සඳහා වාර්තාගත නාමයෝජනා සංඛ්‍යාවක් ලැබී තිබූණි. එහිදී මාලදිවයිනේ ලියාපදිංචි සංචාරක වෙළඳ නාම 100 කට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරමින් කාණ්ඩ 28 ක් යටතේ නාමයෝජනා 236 ක් ඉදිරිපත් කර තිබිණි.

ශ්‍රීලංකන් ගුවන් සේවය වසරේ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ගුවන් සේවය යන කාණ්ඩය යටතේ, පසුගිය වසරේ ජයග්‍රාහකයන් වන සිංගප්පූරු ගුවන් සේවය, එමිරේට්ස් ගුවන් සේවය, එතිහාඩ් එයාර්වේස් සහ බැංකොක් එයාර්වේස් සමඟ තරඟ වැදුණි. එහිදී අන්තර්ජාලය, කෙටි පණිවුඩ සහ සංචාරකයින්ගේ සමාලෝචන මගින් ලියාපදිංචි ඡන්ද 110,000 කට වැඩි සංඛ්‍යාවක් පදනම් කරගෙන ශ්‍රීලංකන් මෙම ජයග්‍රහණය වාර්තා කලේය. මෙම වාර්ෂික සම්මාන උළෙල මාලදිවයිනේ විශාලතම සංචාරක වෘත්තිකයන් සහ විධායකයින්ගේ මූලිකත්වයෙන් පසුගියදා  මාලදිවයිනේ ක්‍රොස්රෝඩ්ස් හීදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

“ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන් සේවය ලෙස ඡන්දය ලබා ගැනීමට හැකිවීම පිළිබඳ අපි අතිශයින් සතුටට පත්වෙනවා.  මෙම සම්මානය ලබා ගැනීම යනු අපගේ ආගන්තුකයින්ගේ විශ්වාසය ශක්තිමත් කිරීමක්. ශ්‍රීලංකන් ගුවන් සේවය අඛණ්ඩව 4 වන වරටත් ලෝක සංචාරක සම්මාන උළෙලේ දී  ඉන්දියානු සාගර කලාපය වෙත මෙහෙයුම් සිදුකරන ලොව ප්‍රමුතම ගුවන් සේවය ලෙස සම්මානය දිනා ගෙන තියෙනවා.  ඒ නිසා මෙම MATATO ප්‍රමුඛතම  ජාත්‍යන්තර ගුවන් සේවා සම්මානය හිමිවීම අපගේ ජයග්‍රහණය නැවත තහවුරු කිරීමක්” යැයි  මාලදිවයිනේ ශ්‍රීලංකන් කළමනාකරු ෆවුසාන් ෆරීඩ් මහතා පැවසීය.

මෙහිදී ප්‍රමුඛ පෙළේ අඩු වියදම් ගුවන් සේවය, ප්‍රමුඛ පෙළේ දේශීය ගුවන් සේවය, ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර හෝටල් සහ නිකේතන සන්නාමය, ප්‍රමුඛ පෙළේ කිමිදුම් පහසුකම් සේවා, ප්‍රමුඛ පෙළේ සර්ෆ් රිසෝට්, ප්‍රමුඛ පාරිසරික නිකේතනය, ප්‍රමුඛ පෙළේ පවුල් නිකේතනය සහ ප්‍රමුඛ පෙළේ සුඛෝපභෝගී නිකේතනය  ඇතුළු තවත් ප්‍රමුඛ වෙළඳ නාම සඳහා ද ඡන්දය ප්‍රකාශ වූහ.

“මෙම සම්මානය ලබන්නන් වශයෙන් නියමිත වේලාවට කාර්ය සාධනය, ගුවන් ගමන් සේවා වැනි අපේ බොහෝ අංශ පිළිබඳව විනිශ්චය කළා. මාලදිවයින ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට අපට සහාය දුන් සියලුම අංශ වලටත්, අපට මඟ පෙන්වීම් සිදුකරන කළමනාකාරිත්වයට සහ ශ්‍රීලංකන් ගුවන් සේවය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ හා දිරිගැන්වීම සිදුකළ සඳහා වටිනා ගනුදෙනුකරුවන්ට මාගේ ස්තූතිය ප්‍රකාශ කරනවා”. යැයි  ශ්‍රී ලංකව සහ ඉන්දියානු සාගරයේ කලාපීය ශ්‍රීලංකන් කළමනාකරු ජයන්ත අබේසිංහ මහතා පැවසීය.

ශ්‍රීලංකන් ගුවන් සේවය 2019 වසරේ දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේ  දී අඛණ්ඩව තුන්වන වරටත් දකුණු ආසියාවේ ‘ප්‍රමුඛ ජාත්‍යන්තර ගුවන් සේවය’ ලෙස (‘Leading International Airline’ in South Asia ) සම්මානයෙන් පිදුම් ලැබීය. එසේම ශ්‍රීලංකන්  ව්‍යාපාරික පංතිය කලාපයේ සමස්ත ගුවන් සේවා  මැදිරි පංති අතරින්  “ප්‍රමුඛ පෙළේ ගුවන් මගී පන්තිය”  (‘Leading Airline Passenger Class – Business’) ලෙස නොකඩවා තුන්වන වරටත් සම්මානයට  පාත්‍ර විය. ශ්‍රීලංකන්  ගුවන් ලෝක සංචාරක සම්මාන උළෙලේ දී (World Travel Awards 2019) ඉන්දියානු සාගර කලාපය වෙත මෙහෙයුම් සිදුකරන ලොව  ප්‍රමුඛතම ගුවන් සේවය,”සඳහා  වන සම්මානය හිමිකර ගැනීමට සමත්විය. තවද ගුවන් මගී අත්දැකීම් සංගමය (APEX) සංවිධානය කරන ලද Future Travel Experience Awards  සම්මාන උළෙලේ දී ශ්‍රීලංකන්  ගුවන් සේවය ගුවන් සේවා  මැදිරි පංති අතරින්  “ප්‍රමුඛ පෙළේ ගුවන් මගී පන්තිය මධ්‍යම ආසියානු කලාපයේ හොඳම Wife පහසුකම් සපයන ගුවන් සේවය ලෙස සම්මානයට පාත්‍ර විය.

ශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹ හරහා රටවල් 58 ක නගර 130 ක ජාලයක් සමඟ සම්බන්ධ කරයි. වන්වර්ල්ඩ්  ගෝලීය ගුවන් සේවා සන්ධානයේ  සාමාජික  ගුවන් සේවාවක්  වශයෙන්   වන්වර්ල්ඩ් පාර්ශව ගුවන් සේවා  හරහා   රටවල් 160 ගමනාන්ත 1000 දක්වා පියාසර කිරීමේ  පහසුකම ශ්‍රීලංකන් ගුවන් මගීන්ට  හිමිවේ.