ශ්‍රීලංකන් දෙවැනි වරටත් APEX Four Star ඇගයුම් සම්මානයෙන් පිදුම් ලබයි

October, 9, 2018

ශ්‍රීලංකන් ගුවන්  සමාගම සිය  විශිෂ්ටත්වය නැවත වරක් විදහා දක්වමින් දෙවැනි වරටත් ගුවන් මගීන්ගේ ප්‍රතිචාර මත  ඇගයුම් කර සම්මාන ලබාදීමේ  වැඩසටහන වන ගුවන් සේවා මගී අත්දැකීම් සංගමයේ  (Airline Passenger Experience Association (APEX)  සම්මාන උළෙලේ දී   තරු හතර පංතියේ  (Four Star) සේවා ඇගයුම් (Four Star) ලැබීමට  පසුගියදා සමත් විය.  APEX  සංවිධානය (www.apex.aero)  යනු ලෝකයේ  ලාභ  ඉපයීම අරමුණු කර නොගත් ගුවන් සේවා මගී අත්දැකීම වැඩිදියුණු කිරීම සඳහා කැපවීමෙන්  කටයුතු  කර සිටින  සංවිධානයකි.

ලොව පුරා සිටින ගුවන් මගීන්  විසින් ඔවුන්ගේ සමස්ත ගුවන් ගමන් අත්දැකීම ඇගයීමට ලක්කිරීමෙන් මෙම ඇගයුම ලබාදෙන  අතර ඊට ආසන සුවපහසුව,ගුවන් මැදිරි සේවාව,ආහාර පාන,විනෝදාස්වාදක පද්ධතිය සහ Wi-Fi සේවාව ඇතුලත් විය.මෙම සමස්ත ගුවන් මගී  ඇගයුම් එක් එක් ගුවන් සේවා ඇගයීමට ලක්කිරීමට පෙර   APEX  විසින්  පත් කරන ලද බාහිර විගණන සේවා ආයතනයක් විසින් සහතික කරනු ලැබේ.

APEX  මගින්  තරු හතර පංතියේ  සේවා ඇගයුම් ගුවන් සමාගම වෙත පිරිනැමීමට  අමතරව ශ්‍රීලංකන් ප්‍රචාරක වීඩියෝ දැන්වීමක් වන “ශ්‍රීලංකන් හා එක්ව ශ්‍රී ලංකාවට චමත්කාර ගමනක්” (“Epic Journey of Sri Lanka on SriLankan) සඳහා විශිෂ්ට මුල් වීඩියෝව කාණ්ඩය යටතේ ප්‍රමුඛ ගුවන් සේවා වන කටාර් එයාර්වේස්,එමිරේට්ස්,සිංගප්පූරු ගුවන් සේවය ,එයාර් නිවිසීලන්ඩ් සහ කැතේ පැසිෆීක් අභිබවා යමින් විශේෂ ඇගයුමට ලක්කර ඇත.

ජාතික  ගුවන් සේවය වන ශ්‍රීලංකන්  ගුවන් සමාගම  ආසියා සහ ඕස්ට්‍රලේෂියා ලෝක සංචාරක සම්මාන උළෙලේ දී සම්මාන ද්විත්වයක් ලබාගැනීමට සමත් වූ අතර ඒවා නම් “2018 වසරේ ආසියාවේ ප්‍රමුඛතම අලෙවි ව්‍යාපාරය” සහ “ 2018  වසරේ ඉන්දියානු සාගරයේ මෙහෙයුම් සිදුකරන ආසියාවේ  ප්‍රමුඛතම ගුවන් සේවය,”සඳහා   වන සම්මාන වේ.

ශ්‍රීලංකන් නිරන්තරයෙන්  සිය ගුවන් යානා ඇණිය නව්‍යකරණය කරමින් සිටියි. ඒ අනුව  ගුවන් සමාගම වෙත නව ගුවන් යානා වන පුළුල් බඳ සහිත A330-300  ගුවන් යානා ද පටු බද සහිත A320neo සහ A321neo  ගුවන් යානා එකතු වී ඇත. මෙමගින් ගුවන් මගීන්ට සුවපහසු ආසන,නවීන  පන්නයේ විනෝදාස්වාදක පද්ධති, ගුවන් යානා අභ්‍යන්තර ආහාරපාන මෙන්ම සුහදශීලී ගුවන් මැදිරි කාර්ය මණ්ඩලයේ උණුසුම් ආගන්තුක  සත්කාරය අත්විඳීමට හැකිවී තිබේ.

ශ්‍රීලංකන්  ගුවන් සමාගම  වත්මන්හි  රටවල්  48 ගමනාන්ත  114 ක්  වෙත සිය ගුවන් මෙහෙයුම් සිදුකරයි.  වන්වර්ල්ඩ්  ගෝලීය ගුවන් සේවා සන්ධානයේ  සාමාජික  ගුවන් සේවාවක්  වශයෙන්   වන්වර්ල්ඩ් පාර්ශව ගුවන් සේවා  හරහා   රටවල් 160 ගමන්නාත 1000 දක්වා පියාසර කිරීමේ  පහසුකම ශ්‍රීලංකන් ගුවන් මගීන්ට  හිමිවේ.

 

පින්තූරයශ්‍රීලංකන් ගුවන් සමාගමේ නිෂ්පාදන සංවර්ධන ජ්‍යෙෂ්ඨ කළමනාකාර සේනක බණ්ඩාරනායක මහතා (මැද) ඇමරිකා එක්සත් ජනපදයේ බොස්ටන් හි සම්මානය ලබා ගන්නා අයුරු