ශ්‍රීලංකන් වෙත අධිවේගී චන්ද්‍රිකා තාක්ෂණික අන්තර්ජාල පහසුකම්

    September, 3, 2024

    ගුවන් මගීන්ට ගුවන්යානා තුළ දී Wi-Fi පහසුකම් සහ ජංගම දුරකතනවල GSM සේවා භාවිතා කිරීම සඳහා හැකියාව ලබා දෙමින් සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් අන්තර්ජාල පහසුකම්වලින් යුතු ගුවන් යානා 13කින් යුත් ඇණියක් වර්තමානයේදී ක්‍රියාත්මක කරනු ලබයි.

    දැනට පවතින යල්පිනූ අන්තර්ජාල පහසුකම සමඟින් ගුවන් මගීන්ට අඩු අන්තර්ජාල වේගයක් අත්විඳීමට සිදුවන බැවින්, වේගවත් අන්තර්ජාල යෙදුම් පහසුකමක් ලබා දීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත.

    ඉහළ මට්ටමක පවතින සබඳතාවන් සඳහා Ka සහ Ku නැමති band භාවිත කරනු ලබන අතර, පවතින ඉහළ සංඛ්‍යාත පරාසය හේතුවෙන්, Ka band මඟින් ඉහළ දත්ත හුවමාරු වේගයන් සපයනු ලබයි. එමඟින් අධිවේගී අන්තර්ජාල ප්‍රවේශය, සුසංවිධිත සේවා සහ දත්ත අධික වශයෙන් අවශ්‍ය කෙරෙන අනෙකුත් කටයුතු සඳහා Ka band සබඳතාවය වඩා යෝග්‍ය බවට හඳුනා ගනු ලැබ ඇත.

    ඒ අනුව, වාණිජ ගුවන්යානා සඳහා ගෝලීය ආවරණයක් සමඟ දෘඪාංග, මෘදුකාංග සහ අන්තර්ජාල පහසුකම් සපයමින් Ka band සබඳතාවය සැපයීමේ එකම සැපයුම්කරු වන Viasat ආයතනය මඟින් ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනාව තාක්ෂණික ඇගයීම් කමිටුව සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඇගයීම් කොට නිර්දේශ ඉදිරිපත් කරනු ලැබ ඇත.

    එකී නිර්දේශ මත පදනම්ව සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගමේ A330-300 මාදිලියේ ගුවන්යානා හතක් (07) සඳහා වසර 07ක කාලසීමාවකට Ka band අධිවේගී චන්ද්‍රිකා තාක්ෂණ අන්තර්ජාල සබඳතා පහසුකම් සම්පාදනය කර ගැනීමේ කොන්ත්‍රාත්තුව Viasat Inc. වෙත පිරිනැමීම පිණිස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.