ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනයට පලාත් මට්ටමෙන් දායකත්වය වැඩි කිරීම සදහා දකුණු පලාතෙන් නියමු ව්‍යාපෘතියක්

    April, 24, 2025

    ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් අපනයන ඉලක්ක කරගත් විධිමත් වැඩපිළිවෙලක්

    ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය සදහා පලාත් මට්ටමෙන් ලැබෙන දායකත්වය වැඩි කිරීමේ අරමුණෙන් දකුණු පලාත මූලික කර ගනිමින් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය උපාය මාර්ග සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විය.

    මෙම සාකච්ඡාවේ අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය සදහා දකුණු පළාත් දායකත්වය වඩාත් විධිමත් සහ කාර්යක්ෂම ලෙස ලබා ගැනීම පිණිස ප්‍රාදේශීය සම්පත් අපනයන කර්මාන්තවලට යොදා ගැනීමට අවශ්‍ය උපාය මාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමය. එමෙන්ම, මාතර දිස්ත්‍රීක්ක් ලේකම් හා එම දිස්ත්‍රීක්යේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් සහ අපනයන සංවර්ධන නිලධාරින් දැනුවත් කිරීමද එහි ප්‍රධාන අරමුණු විය.

    මෙම අවස්ථාවට මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජන්ත ගම්මැද්දගේ මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) කාංචනා තල්පාවිල මහත්මිය, මාතර  දිස්ත්‍රීක්යේ සියලුම ප්‍රාදේශීය  ලේකම්වරුන්, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා, අධ්‍යක්ෂ ජනරාල් චම්පිකා ඩී. ධර්මසේන මහත්මිය, ප්‍රාදේශීය සංවර්ධන අංශයේ වැඩ බලන අධ්‍යක්ෂ ඩී.එම්.පී. දිසානායක මහතා, අපනයන සංවර්ධන මණ්ඩලයේ මාතර දිස්ත්‍රික් කාර්යාල නිලධාරීන් සහ දකුණු පළාතේ අපනයනකරුවන්  සහභාගී විය.

    අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළේ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමෙන් අපනයන ඉලක්ක කර ගත් විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සහ එය අධීක්ෂණය කිරීම සඳහා නිශ්චිත ක්‍රියාමාර්ග ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය. තවද, එක් අරමුණක් කරා එක්ව කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳවද අවධානය යොමු කරන ලදී.

    අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා තනිව තනිව දකුණු පළාතේ සියලුම අපනයන සංවර්ධන නිලධාරින් සමග සාකච්ඡා කළ අතර, එහිදී ඔවුන් මුහුණ දෙන අභියෝග, යෝජනා සහ ඉදිරි අපනයන ඉලක්ක සම්බන්ධයෙන් දීර්ඝ සංවාදයකට ලක් විය.

    අමාත්‍යතුමා වැඩිදුරටත් සඳහන් කළේ, මෙවැනි ව්‍යාපෘතියක් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා සියලුම අපනයන සංවර්ධන නිලධාරින්ගේ වැඩ කටයුතු අධීක්ෂණය කරමින් අවශ්‍ය උපරිම සහයෝගය ලබා දෙන බවත් අනෙකුත් පලාත්වලද ඉදිරියේදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.