ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය අඩු කිරීමට සහ මැදි කාලීන වර්ධනය ඉහළ නැංවීමට වැඩි උත්සාහයක් අවශ්‍යයි – ලෝක බැංකුව

    April, 23, 2025

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත්ව යථා තත්ත්වයට පත්වෙමින් පැවතිය ද, ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් එනම් තුනෙන් එකක් පමණ, දරිද්‍රතා මට්ටමේ හෝ නැවත දරිද්‍රතාවයට ඇද වැටීමේ අවදානමක පවතින බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අංශ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා පවසයි. ලෝක බැංකුවේ ද්වි-වාර්ෂික SRI LANKA DEVELOPMENT UPDATE වාර්තාව ප්‍රකාශයට පත්කරමින් ඩේවිඩ් සිස්ලන් මහතා මේ බව පැවසීය.

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2024 දී කැපී පෙනෙන ප්‍රකෘතියක් ලබා ඇති අතර, කලින් පුරෝකථනය කළ සියයට 4.4 ක ආර්ථික වර්ධන වේගයට සාපේක්ෂව සියයට 5ක වර්ධන වේගයක් වාර්තා කරමින් වර්ධන අපේක්ෂාවන් ඉක්මවා ගොස් ඇති බව එම වාර්තාවේ සඳහන් වෙයි. මෙම වර්ධනයට කර්මාන්ත හා සේවා, විශේෂයෙන් ඉදිකිරීම් සහ සංචාරක ආශ්‍රිත සේවාවන්හි ශක්තිමත් කාර්ය සාධනය හේතු වී ඇති බව ලෝක බැංකුව නිකුත් කරන ලද මෙම වාර්තාවෙහි වැඩිදුරටත් සඳහන් වේ.