ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පාසලක සමස්ත ශ්‍රේණියක් Smart Classrooms බවට පත්වෙයි

February, 8, 2019

මෙම සංකල්පය තව තවත් වර්ධනය කරමින් ශ්‍රී ලංකාව පුරාම ව්‍යාප්ත කළයුතු යැයි, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් ආමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරයි

ශ්‍රී ලාංකේය අධ්‍යාපන ක්ෂේත්‍රයේ තවත් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුවහන් කරමින් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ මග පෙන්වීම සහ නායකත්වය මත ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිරිමි විද්‍යාලයේ 08 වසර සියළුම පන්ති කාමර ඊයේ (07) දිනයේ සිට සුහුරු පන්ති කාමර (Smart Classrooms) බවට පත් කරන ලදී. මේ අනුව, ශ්‍රී ලංකාවේ පාසැලක සමස්ත ශ්‍රේණියක්ම සුහුරු පන්ති කාමර බවට පත්වන පළමු අවස්ථාව මෙයයි. මෙම අවස්ථාවට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිරිමි විද්‍යාලයේ විදුහල්පති ලුතිනන් කර්නල් D .A .D . වානගුරු මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගී විය.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ මගපෙන්වීම සහ නායකත්වය මත 2017 වසරේ ජනවාරි 13 වනදා ටැබ්ලට් පරිගණක මගින් අධ්‍යාපන කටයුතු සිදුකරන මෙරට පළමු සුහුරු පන්ති කාමරය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිරිමි විද්‍යාලයේ ආරම්භ කළ අතර එහි සාර්ථකත්වය මත දෙමව්පියන් සහ ගුරුවරුන්ගෙන් ලැබුණු විශාල ඉල්ලුම සලකා බලමින් මෙම නව සුහුරු පන්ති කාමර සංකීර්ණය ගොඩ නගා තිබේ. මෙම වැඩසටහන සඳහා අධ්‍යාපන අමාත්‍යංශය සහ CodeGen International ආයතනය සහයෝගය ලබාදී තිබෙන අතර මෙහිදී XOLO Smart Classroom Platform යොදාගනී.

මෙම නව සංකීර්ණයට අංග සම්පූර්ණ සුහුරු පන්ති කාමර 05 ක් ඇතුළත් වන අතර සිසුන් 160 දෙනෙකුට ටැබ්ලට් පරිගණක භාවිතා කරමින් සිය අධ්‍යන කටයුතු කිරීමේ අවස්ථාව මෙහිදී හිමිවේ. මෙම සිසුන්ට cloud smart තාක්ෂණය ඇති නවීන සුහුරු පුවරු (Smart interactive boards), මෘදුකාංග (Software ) සහ ටැබ්ලට් පරිගණක භාවිතා කරමින් ඉගෙනීමේ අවස්ථාව උදාවේ. මෙම වැඩසටහන සඳහා පූර්ණ තාක්ෂණික දැනුම හා මග පෙන්වීම මෙන්ම ගුරුවරුන් හා සිසුන් මේ සඳහා පුහුණු කිරීම CodeGen International ආයතනයේ නිර්මාතෘ ආචාර්ය හර්ෂ සුබසිංහ මහතා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය විසින් ලබාදෙයි.

මෙම සුහුරු පන්ති කාමර සංකීර්ණය පිළිබඳව අදහස් දක්වමින් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේ පැවසීය.

“මම මෙම වැඩසටහන ආරම්භ කළේ මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳව අළුතින් සිතා බැලීම සඳහා උනන්දු කරවීමටයි. මම හිතන්නේ අපගේ උත්සාහය සාර්ථක වෙලා තිබෙනවා. අප විසින් ආරම්භ කළ පළමු සුහුරු පන්ති කාමරය ගැන දරුවන්, දෙම්පියන් සහ ගුරුවරුන් සතුටු වෙනවා. මෙම වැඩසටහන තව තවත් පුළුල් කරන්න කියා ඔවුන් ඉල්ලා සිටියා. ඒ නිසයි, අද මේ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ රජයේ පාසැලක් තුළ පළමු වතාවට සුහුරු පන්ති කාමර සංකීර්ණයක් ආරම්භ වෙන්නේ. මේ සඳහා සහයෝගය ලබාදුන් සියළුම දෙනාට මා ස්තූතිවන්ත වෙනවා. ලෝකයේ දියුණුම අධ්‍යාපනය මෙරට ප්‍රචලිත කිරීමට මෙම වැඩසටහන මගින් යම් කිසි පෙළඹවීමක් ඇතිවනු ඇතැයි මා විශ්වාස කරනවා.“

එදා කෝට්ටේ යුගයේ සුප්‍රකට යතිවරයාණන් මෙන්ම සාහිත්‍යධරයකු වූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමිපාණන් වැඩ විසු එරබද්තොට පිරිවෙන තිබූ ස්ථානයේ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය පිහිටා තිබේ. සැළලිහිණි සංදේශයේ නිර්මාතෘන් වන තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ට සෙවණ දුන් මහා නා වෘක්ෂය අදටත් මෙහි විරාජමානව පවතී.

පසු කලෙක ඉංග්‍රීසින් විසින් රජයට පවරාගත් මෙම මනරම් භූමිය 1822 ජුනි 22 දින නූතන අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය හා ශ්‍රී ලංකා අධ්‍යාපනයේ ප්‍රථම පාසල වන "ආලින්දයේ පාසල" හෙවත් verandah school ලෙස ගරු සැමුවෙල් ලම්බ්රික් පියතුමන් විසින් සිසුන් අට (08) දෙනෙකුගෙන් ආරම්භ කරන ලදී. මෙය පසුව Cotta Institute ලෙස ඉතිහාසයට එක්විය.

එකල, ප්‍රධාන පෙළේ ක්‍රිස්තියානි නේවාසික පාසලක් වූ මෙහි ජාතික වීරවර අනගාරික ධර්මපාල තුමන්, ජාතික ගීයේ නිර්මාතෘ ආනන්ද සමරකෝන් සූරින්, ටවර්හෝල් නිර්මාතෘ නාට්‍යකරු නීතිඥ ජෝන් ද සිල්වා යන විද්වතුන් අකුරු කරවූ පාසල් මාතාව විය. පසු කලෙක, C.M .S . හෙවත් ක්‍රිස්තියානි මිෂනාරි පාසල ලෙස නම් ලද මෙම පාසල වර්ෂ 1962 දී කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය ලෙස නම්කර එවක රජයට පවරාගන්නා ලදී .