ශ්‍රී ලංකාවේ වත්මන් දේපල වෙළඳාම් පිළිබඳ දස්කම් සන්කෙන් සමූහ ව්‍යාපාරය මාලේ හිදී දක්වයි

July, 8, 2019

සන්කෙන් සමූහ ව්‍යාපාරයේ ප්‍රධානතම නේවාසික ව්‍යාපෘතියක් වන,  කොළඹ 02 බේරේ වැව ඉදිරිපස පිහිටා අති මනරම් නිවාස ව්‍යාපෘතිය කැපිටල් ට්වින් පීක්ස්, මෙම වසරේ පළමු කාර්තුවේ අග භාගයේ මාලේ හි ජෙන් හෝටල් පරිශ්‍රයේ පැවති RIU (පර්යේෂණ බුද්ධි ඒකකය) හමුවේදී ප්‍රදර්ශනය කෙරුණා.

මෙම හමුව සූදානම් කරන ලද RIU -පර්යේෂණ බුද්ධි ඒකකය, ශ්‍රී ලංකාව තුල අයෝජන කිරීමට සූදානම් විදේශීය අයෝජකයන් , ගෝලීය ඩයස්පෝරාව සමඟ ලාංකීය ව්‍යාපාර සම්බන්ධ කරන අතුරු මුහුණතක් සේ දිගින් දිගටම කටයුතු කරන සාර්ථක ඒකකයකි.

ක්ෂෙත්‍රයේ දැවැන්තයින් මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ වත්මන් දේපළ වෙළඳාම් අංශය පිළිබඳව හා අනාගත විභව්‍යතාවය පිළිබඳ තොරතුරු දක්වද්දී  සන්කෙන් කන්ස්ට්‍රක්ෂන් , සන්කෙන් ඕවර්සීස් හා කැපිටල් ට්වින් පීක්ස් සමාගම්ද සක්‍රීය දායකත්වයක් දැක් වූවා.

 

කැපිටල් ට්වින් පීක්ස් සමාගමේ කලමනාකරණ අධ්‍යක්ෂ රෝහණ වන්නිගම මහතා සිය අදහස් දක්වමින් “2009 වසරේ ශ්‍රී ලංකාවේ තිස් වසරක් පුරා පැවති සිවිල් යුද්ධය අවසන් වීමත් සමඟ සෞඛ්‍ය, දේපළ වෙළඳාම්, සංචාරක වැනි කර්මාන්තවල සීග්‍ර දියුණුවක් ලබා තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පසු ගිය වසරේ පමණක් මිලියන 2.33 සංචාරකයින්ගේ ආගමනයක් පිළිබඳ වාර්තා කරනවා. එය 2017 වර්ෂය හා ගත් කල 4.4% ඉහල යාමක්. 2017 KPMG  ශ්‍රී ලංකාවේ දේපල වෙළඳාම් වාර්තාවට අනුව මීලඟ වසර 2ත් 4 ත් අතර තුල නිවාස ව්‍යාපෘති ඒකක 6,000 ට අධික ප්‍රමාණයක් ඉදි වීමට නියමිත බැවින් 2019 වසර ශ්‍රී ලංකාවේ මෙවැනි අයෝජන සඳහා සුවිශේෂී වෙයි. මේ නිසා වසර හතක් ඇතුලත ප්‍රාග් ධන ඉපයීම් වල තුන් ගුණයක වර්ධනයක් ලැබීමටද කුලී පදනම යටතේ ඉහල ප්‍රතිලාභ ලැබීමටද හැකි වනු ඇතැයි විශ්වාස කෙරේ.

 

සන්කෙන් සමූහ ව්‍යාපාරය මේ වන විට දිවයින පුරා වැදගත් මං සලකුණු පිහිටුවමින් මව් සමාගමට අනුබද්ධ සමාගම් 17 ක් පමණ පිහිටුවා දෙස් විදෙස් හි පවා සිය කීර්ති  නාමය සනිටුහන් කර ඇත. සන්කෙන් ඕවසීස් සමාගම මේ වන විට මාලදිවයින ඇතුලුව විදෙස් රටවල් 12 ක මහද්වීප 3 ක ප්‍රතිස්ථාපනය වී ඇත. සන්කෙන් ඕවසීස් පසු ගිය වසර 25ක් පුරාවට සම්මානනීය ව්‍යාපෘති රැසක් නිම කර ඇත.  ඩොලර් මිලියන 35 ක වටිනාකමකින් යුත් මාලදිවයිනේ වෙස්ටින් , මිරිහන්ඩෝ නිවාඩු නිකේතනය, වාර්තාගත අයුරින් මාස 14කින් නිම කල, කාමර 120 කින් යුතු අමරි හාවොඩා නිවාඩු නිකේතනය හා ඉදිරියේදී ඉදි වීමට නියමිත ඩොලර් මිලියන 46 ව්‍යාපෘතියක් වන රිට්ස් කාල්ටන් , රා ෆාල්හු හුරා නිවාඩු නිකේතනය සහ  කාෆු ඇටෝල් හි JW මැරියට් සන්කෙන් ඕවසීස් හි සාර්ථකත්වය තවදුරටත්  පැහැදිලි කරයි.

 

RIU හි ඇස්තමේන්තුවකට අනුව ඉදිරියේදී මාලදිවයිනෙන් මෙරටට 11,000 ක් 16000 ක් අතර ජනගහණයක් හා 76,000 ක් ඉක්මවූ සංචාරකයින් ප්‍රමාණයක් අපේක්ෂිතය. මාලදිවයිනේ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයින් සිය දෙවනි වාස භූමිය ලෙස තව තවත් ශ්‍රී ලංකාවේ දේපල පිළිබඳ උනන්දුවක් දක්වද්දී RIU හමුව ජාත්‍යන්තර වෙළඳපලට දේශීය අයෝජන පිළිබඳ සිය දැනුම බෙදා හරින වේදිකාවක් තනනු නොඅනුමානය.