ශ්‍රී ලංකා ටෙලිකොම්, විපක්ෂ නායකතුමාගේ පදනම් විරහිත ප්‍රකාශ ප්‍රතික්ෂේප කරයි

    January, 6, 2021

    ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සිය සන්නාමය වෙනස් කිරීම සඳහා රු. බිලියන 2 ක මුදලක් වැය කළ බවට විපක්ෂ නායකතුමා 2021 ජනවාරි මස 5 වනදා පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශය මුළුමනින් ම ප්‍රතික්ෂේප කරන බවත්, එය කිසිඳු පදනමකින් තොර අසත්‍ය ප්‍රකාශයක් බවත් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ප්‍රකාශ කර සිටී.

    විපක්ෂ නායකතුමා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, එම මුදල් විදෙස් රටවල අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන් යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා වැය කළ යුතුව තිබූ බවය. කෙසේවෙතත්, සමාගමේ මුදල් එවැනි කටයුත්තක් සඳහා යොමු කිරීම විපක්ෂ නායකතුමා හොඳින් දන්නා පරිදි ආයතනික පරිපාලන මූලධර්ම, මුල්‍ය ක්‍රමවේද සහ පාර්ශ්වකරුවන්ගේ අභිලාශ උල්ලංඝනය කිරීමක් වන බව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පැහැදිලි කර සිටී.

    ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සන්නාම එකම සන්නාමයක් ලෙස ඒකාබද්ධ කෙරුණු අතර, එහි අරමුණ සියලු ශ්‍රී ලාංකිකයන් හට විශිෂ්ට සේවාවක් පිරිනැමීමය. එම සන්නාම ඒකාබද්ධ කිරීම පිළිබිඹු වන පරිදි නව ආයතනික සන්නාම ලකුණ නිර්මාණය කිරීම ඉතා අවම මුදලකින් සිදු කරන ලද්දකි. සන්නාම ඒකාබද්ධ කිරීම හරහා සමාගම් දෙකෙහිම අනන්‍යතාව ආරක්ෂා කර ගනිමින්, පාරිභෝගික පදනම තවදුරටත් වර්ධනය කර ගැනීම සහ ඉපැයීම් සහ ලාභ වැඩිදියුණු කර ගැනීම අරමුණයි. 2020 වසරේදී, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පසුගිය වසර 5 ක කාලයක් පුරා එම සමාගම තුළ සිදු වූ නාස්තිය විශ්ලේෂණය කර නාස්තිය අවම කර ගනිමින් අක්‍රීය වත්කම්වලින් ලාභ උත්පාදනය කිරීම සඳහා අර්ථවත් ක්‍රියාමාර්ග රැසක් අනුගමනය කිරීමට කටයුතු කළේය.

    එම පසුබිම තුළ, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විපක්ෂ නායකතුමාගේ මෙම වගකීම් විරහිත ප්‍රකාශය තරයේ හෙළා දකියි. යම් ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය ආයතන සහ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වුනු පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී සිදු කරන ලද එතුමාගේ ප්‍රකාශය, ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සේවා සම්පාදකයා වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ කීර්ති නාමයට හානි කිරීමකි.

    ශ්‍රී ලංකා ටෙලිකොම් යනු ඉතා ලාභ උපයන සමාගමකි. 2020 වසරේ ලැබූ ලාභය වාර්තාගත ජයග්‍රහණයකි. කිසිඳු කාර්මික ආරවුලකින් තොරව සේවක සුබසාධනය සඳහා කළ හැකි උපරිම දායකත්වය අප ආයතනය විසින් සැලසේ.

    තවද, ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය කෝවිඩ් වසංගතයට එරෙහිව මෙරට ජනතාව වෙනුවෙන් පෙරට එමින්, අතිගරු ජනාධිපතිතුමා ආරම්භ කරන ලද 'ඉටුකම' කෝවිඩ්-19 අරමුදලට ප්‍රමුඛ දායකත්වයක් ලබා දුන් අතර, එහි කොටසක් කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ ස්වේච්ඡා පරිත්‍යාගයෙන් වීම ද විශේෂත්වයකි.

    කෝවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ සිය ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘති හරහා ප්‍රජා සත්කාරක සේවා රැසක් දියත් කිරීමට ද ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම කටයුතු කළේය. සෞඛ්‍ය අංශ සඳහා සෞඛ්‍ය සහ ආරක්ෂණ මෙවලම් පිරිනැමීම, අඩු ප්‍රතිලාභ ලාභී ප්‍රජාව සඳහා ආහාර සහ සැපයුම් ලබාදීම මෙන්ම දිවයින පුරා රෝහල් සඳහා වෛද්‍ය යටිතල පහසුකම් ලබාදීම ද එම ප්‍රජා සත්කාරක වැඩසටහන් අතර කැපී පෙනෙයි.

    එමෙන්ම, ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සේවා සම්පාදකයා ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම, වසංගත තත්ත්වය හේතුවෙන් හුදෙකලා කෙරුණු ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ජාල සමග සම්බන්ධ කර ගනිමින් ඔවුන්ගේ දරුවන්ගේ අන්තර්ජාල අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය අඩිතාලම සලසා දීමට කටයුතු කළේය.

    එම සමාගමේ ඉදිරිපෙළ කාර්යමණ්ඩල සාමාජිකයන් සියලු සනීපාරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් පාරිභෝගිකයන් වෙත පරිපූර්ණ සේවාවක් ලබා දීම සඳහා පෙරමුණ ගත් අතර, ඔවුහු කිසිඳු කෝවිඩ් වෛරස ආසාදනය වීමකින් තොරව පසුගිය වසරේදී සමස්ත රටටම බාධාවකින් තොර සේවාවක් සහ සියලු අත්‍යවශ්‍ය ජාතික සේවා ලබා දීමට ද කටයුතු කළෝය.

    සිය සියලු ම පාර්ශ්වකරුවන්ගේත්, සමස්ත ජාතියේත් අභිලාශ මුදුන්පත් කිරීම සඳහා නිබඳව කටයුතු කළ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ඉදිරියටත් එම මෙහෙවර දියත් කිරීමට සැදී පැහැදී සිටින බව යළිත් අවධාරණය කර සිටී.