ශ්‍රී ලංකා – නෝර්වේ ධීවර සහයෝගීතාව ශක්තිමත් කරන රාජතාන්ත්‍රික හමුවක්

    August, 28, 2020

    ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපතිනී ට්‍රයින් ජෙරන්ලි එස්කෙඩාල් මහත්මිය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර රාජතාන්ත්‍රික හමුවක් ඊයේ (27) අරලියගහ මන්දිරයේ දී සිදුවිය.

    ධීවර ක්ෂේත්‍රය, ශ්‍රී ලංකා - නෝර්වේ ද්විපාර්ශ්වික සම්බන්ධතාවල වැදගත් අංශයක් බවත් එම සබඳතා තව දුරටත් ශක්තිමත් කිරීමට නෝර්වේ රාජ්‍ය උනන්දුවෙන් පසුවන බවත් තානාපතිනිය එහි දී සඳහන් කළාය.

    "අප අතර දැනටමත් හොඳ ද්විපාර්ශ්වික සබඳතාවක් තිබෙනවා. අපට එය ශක්තිමත් කිරීමට අවශ්‍යයි. ශ්‍රී ලංකාව කෙරෙහි අපගේ කැපවීම තහවුරු කිරීමට අපට අවශ්‍යයි." තානාපතිනී එස්කෙඩාල් මහත්මිය පැවසුවාය.

    ධීවර කර්මාන්තය අපගේ ද්විපාර්ශ්වික සබඳතාවල මූලික පදනම බව තානාපතිනි එස්කෙඩාල් මහත්මිය සිහිපත් කළාය. ශ්‍රී ලංකාවේ ධීවර ක්‍ෂේත්‍රයේ ඇති වැදගත්කම අවධාරණය කළ අග්‍රාමාත්‍යවරයා සමුද්‍රීය පරිසරය විනාශ කරන ට්‍රෝලර් පන්නයේ මසුන් මැරීමේ ක්‍රම පිළිබඳව පවතින ගැටලු මෙහිදී පෙන්වා දෙන ලදී.

    මේ වන විට ශ්‍රී ලංකාව සිය ප්‍රමුඛතාව COVID-19 වසංගතයට මුහුණ දෙමින් ආර්ථික සංවර්ධනය සඳහා යොමු කර ඇති බව ද ජනාධිපතිවරණයෙන් හා මහා මැතිවරණයෙන් පසු ආකර්ෂණීය ආයෝජන ඔස්සේ ඉතා විශ්වාසනීය ලෙස ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට හැකි පරිසරයක් උදා වී ඇති බව ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේය.

    COVID-19 වසංගතය පාලනය කිරීමට වඩා යෝග්‍ය හා ක්ෂණික ක්‍රියා මාර්ග ගැනීම ගැන තානාපතිනි එස්කෙඩාල් මහත්මිය රජයට ප්‍රශංසා කරන ලදී.

    නෝර්වීජියානු මැදිහත්වීම දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති හා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරමින් තිබෙන නව ව්‍යාපෘති කිහිපයක් සම්බන්ධයෙන් ද දෙරටේ දූත පිරිස සාකච්ඡාවක නිරත වූහ.