ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව කල් පිරෙන එක්සත් ජනපද ඩොලර් බිලියනයක් වටිනා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් පියවීම සාර්ථකව නිම කරයි

    October, 3, 2020

    2020 ඔක්තෝබර් දෙවැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කල් පිරෙන එක්සත් ජනපද ඩොලර් බිලියනයක් වටිනා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක්, නියමිත කූපන ගෙවීම් ද සහිතව, පියවීම සාර්ථකව නිම කරන ලදී.

    මෙම පියවීම මගින් විදේශීය වගකීම් නිසි ලෙස පියවීම සඳහා රජයේ නොසැලෙන කැපවීම නැවත තහවුරු කෙරෙන අතර, එමගින් ආයෝජකයින්ගේ විශ්වාසය ඉහළ නැංවීමත් ණය සේවාකරණය පිළිබඳව ඇති නොකැළැල් වාර්තාව එලෙසම පවත්වා ගෙන යාමට මෙරට රජයට ඇති හැකියාව සහ කැමැත්ත සම්බන්ධයෙන් විදේශ ආයෝජකයින්ට පැවතිය හැකි ගැටලු  දුරලීමත් සිදු කරයි. ශ්‍රී ලංකා ආර්ථිකයේ මෑත කාලීන ධනාත්මක වර්ධනයට සහ මෙම බැඳුම්කර පියවීමට මෙරට විදේශ විනිමය වෙළෙඳපොළ දැනටමත් ධනාත්මක ප්‍රතිචාර දක්වා ඇත. රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගනු ලැබූ පූර්ව ක්‍රියාමාර්ගවල සහාය ඇතිව මෙරට විදේශ විනිමය වෙළෙඳපොළ වෙත ලැබෙතැයි අපේක්ෂිත ගලා ඒම් සමඟ ඉදිරි කාලය තුළදී වෙළෙඳපොළ විශ්වසනීයත්වය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.