ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය GovPay හා එක්වෙයි

    May, 16, 2025

    නීති පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ නව පරිචේදයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය මැයි මස 15 වෙනි දින GovPay - රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාව හා සම්බන්ධවීම, ගරු අගවිනිසුරු ජනාධිපති නීතිඥ මුර්දු ප්‍රනාන්දු මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ දී උත්සවාකාරයෙන් ආරම්භ විය. මෙම අවස්ථාවට, ඉහළ පෙළේ නීති වෘත්තිකයන්, LankaPay, ICTA නිලධාරීන් සහ බැංකු සහ නීති අංශවල ඉහල පෙළේ නියෝජිතයින් රැසක්ද සහභාගී විය.

    ඒ අනුව, GovPay ඩිජිටල් වේදිකාව හා සම්බන්ධ අන්තර්ජාල / මොබයිල් බැංකුකරණ පෝටල සහ FinTech යෙදුම් හරහා, මෙතෙක් මුදල් මගින් ගෙවීම් කල ශ්‍රේෂ්ඨාධිකරණ සේවා රැසකට පහසුවෙන් සුරක්ෂිතව සහ ක්ෂණිකව මාර්ගගත ක්‍රමයට ගෙවීම් සිදුකිරීමේ හැකියාව සැලසී ඇත. ආරම්භක අදියරයේදී, BOC ස්මාට් පේ, පීපල්ස් පේ මොබයිල් යෙදුම, NSB ඔන්ලයින් බැංකින්, පෑන් ඒෂියා ඔන්ලයින් බැංකින්, සම්පත් විශ්ව, HNB පේ ෆාස්ට්, සේලාන් ඔන්ලයින් බැංකින්, DFCC ඔන්ලයින් බැංකින්, නේශන්ස් ඩිරෙක්ට්, කොබ්බෑන්ක් ඩිජිටල් ඔන්ලයින් සහ කොබ්බෑන්ක් ඩිජිටල් මොබයිල් යෙදුම, NDB NEOS ඔන්ලයින් බැංකින්, හෙලකුරු, අයිපේ, ෆ්‍රීමී සහ ජිනි යන මොබයිල් යෙදුම් හරහා ශ්‍රේෂ්ඨාධිකරණ සේවා සඳහා GovPay ඩිජිටල් වේදිකාව හරහා මාර්ගගත ගෙවීම් සිදුකිරීමේ හැකියාව ඇත.

    ඒ අනුව, නඩු ගොණු සඳහා ගාස්තු, සහතික කළ පිටපත් ගාස්තු, වාණිජ මහාධිකරණ අභියාචනා ගොනු කිරීමේ ගාස්තු, වන්දි, ගාස්තු, ඇතුළත් වීමේ ගාස්තු (නීතිඥ), යහපත් පැවැත්ම පිළිබඳ සහතික සඳහා ගෙවීම්, නව පැමිණිලි ගොනු කිරීමේ ගාස්තු සහ දිවුරුම් ප්‍රකාශ සඳහා මාර්ගගත ගෙවීම් ඇතුළුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සලසනු ලබන පුළුල් පරාසයක සේවාවන් සඳහා GovPay හරහා ක්ෂණිකව, සුරක්ෂිතව සහ පහසුවෙන් මාර්ගගත ගෙවීම් කිරීමේ හැකියාව නීතිවේදීන්ට මෙන්ම සාමාන්‍ය මහජනතාවට උදාවී ඇත. තවද, පද්ධතිය හරහා ජනනය කරනු ලබන රිසිට්පත ඇතුළුව සමස්ත GovPay ඩිජිටල් ක්‍රියාවලියම 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත යටතේ (සංශෝධිත පරිදි) නීත්‍යානුකූලව වලංගු වේ.

    ගරු අගවිනිසුරු ජනාධිපති නීතිඥ මුර්දු ප්‍රනාන්දු මහත්මිය, අධිකරණ පද්ධතිය නවීකරණය කිරීම සඳහා මෙම මුලපිරීමේ වැදගත්කම අවධාරණය කරමින් මෙලෙස තම අදහස් දැක්වීය. "GovPay හා සම්බන්ධ වීමේ මෙම ප්‍රයත්නය, තාක්‍ෂණයෙන් බලගැන්වුනු, අනාගත ලෝකය හා බැඳුනු, කාර්‍යක්ෂම අධිකරණ පද්ධතියක් කරා යන අප ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. GovPay වැනි ඩිජිටල් නවෝත්පාදනයන් හා සම්බන්ධ වීමෙන්, නීති පද්ධතියේ කාර්යක්ෂමතාවය සහ විනිවිදභාවය වැඩි දියුණු කරනවා පමණක් නොව, අධිකරණ පද්ධතියේ සියලුම පාර්ශවකරුවන්ට මහජන විශ්වාසය සහ ප්‍රවේශ වීමේ පහසුව වැඩි දියුණු කිරීමටද අපි බලාපොරොත්තු වෙනවා".

    GovPay හා සම්බන්ධ වීම හේතුවෙන්, ශ්‍රේෂ්ඨාධිකරණ පරිශීලකයින්ට මෙන්ම නීති වෘත්තිකයන්ටද මෙතෙක් භෞතික මුදල් ගෙවීමේදී මුනුණදීමට සිදුවුනු ප්‍රායෝගික ගැටළු සහ පරිපාලන අකාර්යක්ෂමතා රැසකට පිලිතුරු ලැබී ඇත. මෙම ඓතිහාසික මුලපිරීම, මහජන සේවා සැපයීම වැඩිදියුණු කිරීම සඳහා ඩිජිටල් යටිතල පහසුකම් උපයෝගී කර ගැනීමේ ජාතික න්‍යාය පත්‍රයට ද අනුකූල වේ. මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඩිජිටල් ගෙවීම් සඳහා යොමුවීම, ශ්‍රී ලංකාව පුරා ඇති අනෙකුත් අධිකරණ ආයතන වලටද ඩිජිටල්කරණයට පිවිසීමට නව ආදර්ශයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    ඩිජිටල්කරණය හරහා රාජ්‍ය ආයතන බලගැන්වීමේ අරමුණින්, මෙම වසර මුලදී ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ICTA සහ LankaPay ආයතන එක්ව හඳුන්වා දෙන ලද GovPay සේවාවේ තවත් සුවිෂේශී සංධිස්ථානයක් මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මෙම වැඩසටහන හා සම්බන්ධ කරගැනීමෙන් සනිටුහන් කෙරේ. ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්, රෙජිස්ට්‍රාර් කාර්ය මණ්ඩලය, අධිකරණ අමාත්‍යාංශය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ සුසංයෝගයෙන්, ප්‍රධාන මූල්‍ය හා තාක්ෂණික ආයතන අතර සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට හැකි විය.